
රජය මගින් වතු කම්කරුවන් සඳහා ලබාදෙන රුපියල් 200ක දෛනික පැමිණීමේ දීමනාව ගෙවීම සඳහා විධිමත් නෛතික පදනමක් සකස් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස්වූ එම කාරක සභාවේදී මෙම කරුණු සාකච්ඡා වී තිබේ.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට කාරක සභාවේ විරුද්ධත්වයක් නොමැති වුවද, දැනට මෙම රුපියල් 200 දීමනාව ගෙවනු ලබන්නේ කිසිදු ගැසට් නිවේදනයකින් තොරව බව සභාපතිවරයා එහිදී පෙන්වා දී ඇති අතර පෞද්ගලික වතු සමාගම් සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් මත පමණක් සිදු කෙරෙන මෙම ගෙවීම ඕනෑම අවස්ථාවක නතර වීමේ අවදානමක් පවතින බව ඔහු අනතුරු ඇඟවූවා.
නිලධාරීන්මෙහිදී දැනට ලබාදෙන මෙම රුපියල් 200 දීමනාව සේවක අර්ථසාධක අරමුදල (EPF) හෝ සේවක භාරකාර අරමුදල (ETF) සඳහා ගණනය නොවන බව අනාවරණය කර තිබේ. තවද මෙහිදී අවධාරණය කොට ඇත්තේ පෞද්ගලික වතු සමාගම් සමඟ අත්සන් කර ඇති මෙම ගිවිසුම වසර 3කට සීමා වන බැවින්, ඉන් පසුව මෙම ගෙවීම් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බවයි.
රාජ්‍ය මුදල් මූල්‍ය විනයකින් තොරව පෞද්ගලික ආයතනවල වැටුප් ගෙවීමට යෙදවීම නුසුදුසු බව සභාපතිවරයා පෙන්වා දුන් අතර, නිලධාරීන් පැවසුවේ 2026 අයවැය මගින් සංවර්ධන සහනාධාරයක් ලෙස මෙම මුදල් අනුමත කර ඇති බවකි.
නියෝජ්‍ය මහා භාණ්ඩාගාර ලේකම්වරයා මෙහිදී යෝජනා කළේ මෙය නිෂ්පාදන දිරිගැන්වීමක් ලෙස හැඳින්වීම වඩාත් සුදුසු බවයි.
මෙම දීමනාව EPF/ETF ගණනයෙන් බැහැර කිරීමේ නෛතික භාවය සහ අදාළ අවබෝධතා ගිවිසුම් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන නොමැති බවද මෙහිදී අනාවරණය වූ අතර ඒ අනුව, මෙම සියලු ගැටලුසහගත තැන් නිවැරදි කරමින් වහාම නෛතික පසුබිමක් සකස් කළ යුතු බව මුදල් කාරක සභාව අවධාරණය වී තිබේ.
