පොලිස් අත්අඩංගුවට ගැනීමක් හමුවේ ඔබ සතු බලතල සහ අයිතිවාසිකම්!

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනතාවට ස්වෛරීත්වය ලබා දී ඇති අතර, නීතියේ ආධිපත්‍යය සුරැකීම පුරවැසියන්ගේ වගකීමකි. නීතිය නොදැන සිටීම බොහෝ විට ඔබේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමට හේතු විය හැක. විශේෂයෙන්ම යම් පුද්ගලයෙකු අත්අඩංගුවට පත්වන අවස්ථාවකදී ඔහු හෝ ඇය සතු නීතිමය හිමිකම් පිළිබඳව නිවැරදි අවබෝධයක් තිබීම ඉතා වැදගත් වේ

අත්අඩංගුවට ගැනීම යනු කුමක් ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සෑම පුරවැසියෙකුටම පෞද්ගලික නිදහස සඳහා මූලික අයිතිවාසිකමක් ඇතත්, එය සීමා රහිත අයිතියක් නොවේ. ඔබ යම් අපරාධයක් සිදු කළහොත් නීතිය මගින් ඔබව අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතී. කෙසේ වෙතත්, නීතිමය හේතුවක් නොමැතිව සහ විධිමත් ක්‍රමවේදයකින් තොරව අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමට පුරවැසියෙකු ලෙස ඔබට අයිතියක් ඇත. සාමාන්‍යයෙන් අත්අඩංගුවට ගැනීමක් පොලිස් නිලධාරියෙකු විසින් සිදු කළ හැකි අතර, පෞද්ගලික පුද්ගලයෙකුට වුවද යම් අයෙකු වරදක් කර ඇති බවට සාධාරණ විශ්වාසයක් ඇත්නම් අත්අඩංගුවට ගෙන පොලිසිය පැමිණෙන තෙක් රඳවා තබා ගත හැක.

අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් යනු කුමක් ද?

පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණමය අවසරය ලබා දෙන ලියවිල්ල වරෙන්තුවයි. මෙය මහේස්ත්‍රාත්වරයෙකු විසින් නිකුත් කරනු ලබන්නකි. නීත්‍යානුකූල වරෙන්තුවක අදාළ මහේස්ත්‍රාත් අධිකරණයේ නම, අත්අඩංගුවට ගන්නා නිලධාරියාගේ නම සහ තනතුර, අත්අඩංගුවට ගත යුතු පුද්ගලයාගේ නම සහ ලිපිනය මෙන්ම අදාළ චෝදනාව සහ දඬුවම් වගන්තිය ද පැහැදිලිව සඳහන් විය යුතුය.

අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නොමැතිව මා අත්අඩංගුවට ගත හැකි ද?

බොහෝ දෙනා සිතන්නේ වරෙන්තුවක් නොමැතිව පොලිසියට කිසිවෙකු අත්අඩංගුවට ගත නොහැකි බවයි. නමුත් එය වැරදි මතයකි. වරෙන්තුවක් නොමැතිව වුවද පොලිසියට ඔබව අත්අඩංගුවට ගත හැකි විශේෂ අවස්ථා තිබේ. උදාහරණයක් ලෙස, වරෙන්තුවක් නිකුත් කර ඇති පුද්ගලයා ඔබ බවට පොලිසිය සාධාරණව විශ්වාස කරන්නේ නම් හෝ ඔබ යම් වරදක් කිරීමට උත්සාහ කරන අවස්ථාවක එය වැළැක්වීමට ඇති එකම මාර්ගය අත්අඩංගුවට ගැනීම නම් ඔවුන්ට එසේ කළ හැක. එසේම, පොලිස් නිලධාරියෙකු ඉදිරියේ වරදක් කර ඔබ නම සහ ලිපිනය ලබා දීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කරන්නේ නම් හෝ ඔබ වරදක් කර සැඟවී සිටින බවට පෙනී යන්නේ නම් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට නීතියෙන් ඉඩ ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී මා හට පොලීසියෙන් විමසිය හැකි වන්නේ මොනවාද?

පොලිසිය ඔබව අත්අඩංගුවට ගැනීමට පැමිණි විට බියෙන් නිහඬව සිටිය යුතු නැත. ඔබට අත්අඩංගුවට ගැනීමට පැමිණි නිලධාරියාගේ නම, නිලය සහ අනුයුක්ත පොලිස් ස්ථානය කුමක්දැයි විමසීමට පූර්ණ අයිතිය ඇත. එසේම, තමා අත්අඩංගුවට ගන්නේ කුමන වරදක් සම්බන්ධයෙන් ද යන්න දැන ගැනීමටත්, තමාට තේරුම් ගත හැකි භාෂාවකින් ඒ පිළිබඳව පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටීමටත් ඔබට අයිතියක් තිබේ.

පොලිසිය විසින් මා වෙත පොලීසිය වෙත එන ලෙසට ඉල්ලා සිටියහොත් මා කුමක් කළ යුතු ද? මා යා යුතු ද?

ඔබ අත්අඩංගුවේ නොමැති අවස්ථාවක, හේතු දැක්වීමකින් තොරව පොලිසියට පැමිණෙන ලෙස ඔබට නියෝග කිරීමට පොලිසියට නොහැකිය. ඔබව පොලිසියට රැගෙන යා හැක්කේ ඔබ අත්අඩංගුවට ගෙන ඇත්නම් පමණි. එසේ නොමැතිව පොලිසියට එන ලෙස ඉල්ලා සිටින්නේ නම්, එසේ කැඳවන්නේ මන්දැයි විමසීමටත්, ඔබට යා හැකි දිනය සහ වේලාව තීරණය කිරීමටත් ඔබට අයිතියක් ඇත. එමෙන්ම, පොලිසිය වෙත යන විට තමාගේ සහායට නීතිඥයෙකු හෝ මිතුරෙකු කැටුව යාමට ද ඔබට හැකියාව ඇත.

පොලිසිය විසින් ප්‍රකාශයක් කිරීමේ දී මා දැනගත යුත්තේ කුමක් ද?

පොලිසියට ප්‍රකාශයක් ලබා දීමේදී ඉතා සැලකිලිමත් වන්න. ඔබ ලබා දෙන ප්‍රකාශය ලියා ඇත්තේ ඔබට තේරුම් ගත හැකි භාෂාවකින් දැයි විමසන්න. අත්සන් කිරීමට පෙර එය කියවා බලා ඔබ පැවසූ දේම එහි ලියා ඇති බවට තහවුරු කරගන්න. ප්‍රකාශය වෙනත් භාෂාවකින් ලියා ඇත්නම් එය ඔබට තේරෙන භාෂාවකින් පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටින්න. කිසිවිටෙකත් හිස් කොළවල අත්සන් නොකළ යුතු අතර, ඔබ ප්‍රකාශයක් නොකළේ නම් යම් ලේඛනයකට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීමට ද ඔබට අයිතිය ඇත. මේ සඳහා නීතිඥයෙකු හෝ මිතුරෙකු සහායට තබා ගැනීම වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත.

මා අත්අඩංගුවට ගෙන පොලිස් අත්තඩංගුවේ සිටින විට මගේ අයිතිවාසිකම් මොනවා ද?

අත්අඩංගුවට පත් වූ පමණින් ඔබ වරදකරුවෙකු නොවේ. අධිකරණයෙන් වරදකරු කරන තෙක් ඔබ නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකිය යුතුය. පොලිස් අත්අඩංගුවේ සිටින විට වධහිංසාවට, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලිවලට ලක් නොවී සිටීමට ඔබට අයිතියක් ඇත. එසේම දඬුවම් දීමට පොලිසියට බලයක් නැත, දඬුවම් කළ හැක්කේ අධිකරණයට පමණි. ඔබේ පවුලේ අයට ඔබව බැලීමට පැමිණිය හැකි අතර, කිසිවෙකුගේ බාධාවකින් හෝ සවන් දීමකින් තොරව නීතිඥයෙකු මුණගැසී උපදෙස් ලබා ගැනීමට ද ඔබට පූර්ණ අයිතිය හිමි වේ.

නීතිය ගැන දැනුවත්වීම ඔබේම ආරක්ෂාව සලසා ගැනීමකි. ඉහත කරුණු හොඳින් මතක තබා ගැනීමෙන් නීතියේ රැකවරණය නිසි පරිදි ලබා ගැනීමට ඔබට හැකි වනු ඇත.
✍️ සැකසුම: නීතිඥ නාලින්ද දිසානායක.

උපුටා ගැනීම Law Guide ෆේස් බුක් පිටුවෙනි

Social Sharing
පුවත්