ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසාහි අල් ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙකු මිය යයි.

ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් ගාසාහි අල්-ෂිෆා ‍රෝහල ආසන්නයේ සිටි අල් ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වේ. මෙලෙස මිය ගොස් ඇත්තේ අනාස් අල්-ෂරීෆ්, මොහොමඩ් ක්‍රෙයිකේ සහ කැමරා ශිල්පීන් වන ඉබ්‍රාහිම් සහර්, මොහොමඩ් නූෆාල් සහ මෝමෙන් අලිවා යන මාධ්‍ය වේදීන් වන අතර ඔවුන් රෝහලේ ප්‍රධාන දොරටුව අසල පිහිටි මාධ්‍යවේදීන් සඳහා වෙන් වූ කූඩාරමක සිටි බව අල් ජසීරා වාර්තා කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් අල් ජසීරා නාලිකාව මෙම ප්‍රහාරය “ඉලක්කගත ඝාතනයක්” ලෙස හැඳින්වූ අතර එය මාධ්‍ය නිදහසට එල්ල කරන ලද තවත් පැහැදිලි සහ සැලසුම්සහගත ප්‍රහාරයක් බව පැවසීය.

ප්‍රහාරයෙන් සුළු මොහොතකට පසු, සිය ප්‍රහාරයේ ඉලක්කය වූයේ අනාස් අල්-ෂරීෆ් බව ඊශ්‍රායල හමුදාව පවසා ඇත. ඔහු හමාස් ත්‍රස්තවාදී අංශයක නායකයෙකු බවට ටෙලිග්‍රෑම්හි සටහනක් පළ කර ඇති අතර  මිය ගිය අනෙකුත් මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් ඊශ්‍රායල් හමුදාව සඳහනක් කර නොමැති බවට වාර්තා වේ. අල්-ෂරීෆ් යනු පිළිගත් මාධ්‍යවේදියෙකු බවත්, ගාසා තීරයේ සිදුවන දේ ලොවට ගෙන ගිය “එක ම හඬ” ඔහු බවත් අල් ජසීරාහි කළමනාකරණ සංස්කාරක මොහොමඩ් මොවාඩ් බීබීසීයට පවසා ඇත. යුද්ධය අතරතුර, ඊශ්‍රායලය ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට නිදහසේ ගාසා තීරයට ඇතුළුවීම අවහිර කර ඇති අතර එම හේතුවෙන් බොහෝ මාධ්‍ය ආයතන වාර්තාකරණය සඳහා ගාසාහි වාර්තාකරුවන් යොදා ගනී

හමාස් සංවිධානයට සම්බන්ධ බව පවසමින් ගාසා තීරයේ අල් ජසීරා මාධ්‍යවේදීන් ඉලක්ක කර ඝාතනය කළ පළමු අවස්ථාව මෙය නොවන අතර පසුගිය වසරේ අගෝස්තු මාසයේදී, ඉස්මයිල් අල්-ගූල් ඔහුගේ මෝටර් රථයේ සිටියදී ගුවන් ප්‍රහාරයකින් මිය ගියේ ය. කැමරාකරුවෙකු වූ රාමි අල්-රිෆි සහ එම ස්ථානය අසලින් බයිසිකලයක ගමන් කරමින් සිටි තරුණයෙක් එම ප්‍රහාරයෙන් මිය ගිය අතර 2023 ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල කරන ලද හමාස් ප්‍රහාරවලට අල්-ගූල් සම්බන්ධ බව ඊශ්‍රායල් හමුදාව පැවසූ නමුත් අල් ජසීරා එය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. තවද 2023 ඔක්තෝබර් මාසයේදී ගාසා තීරයේ ඊශ්‍රායල් හමුදා ක්‍රියාමාර්ග ආරම්භ වූ දා සිට මාධ්‍යවේදීන් 186 දෙනෙකු මිය ගොස් ඇති බව තහවුරු වී ඇතැයි මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව පවසයි.

Social Sharing
අවකාශය නවතම විදෙස්