ඇමරිකානු තීරු බද්දෙන් රබර් අපනයන ක්ෂේත්‍රයට තර්ජනයක්

ඇමෙරිකාව විසින් ‘අන්‍යෝන්‍ය බදු” ක්‍රමය යටතේ පසුගිය දා 30%ක තීරු බද්දක් පැනවූ අතර ඒ තුළින් රබර් අපනයන ක්ෂේත්‍රයට විශාල තර්ජනයක් එල්ල වන බවත් විශේෂයෙන් ටයර්, අත් වැසුම් සහ කර්මාන්ත සඳහා අවශ්‍ය රබර් නිෂ්පාදනවලට ඉන් වැඩිම තර්ජනයක් එල්ල වන බවත් කොළඹ රබර් වෙළඳුන්ගේ සංගමයේ සභාපති හරින් ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත.

සභාපතිවරයා තවදුරටත් පවසා සිටියේ යෝජිත 44% ක තීරු බද්ද 30% දක්වා අඩු කර ගැනීම තුළින් ශ්‍රී ලංකාව ඇමෙරිකානු වෙළෙඳපොළ තුළ හිමිකරගෙන ඇති ස්ථානය සම්පූර්ණයෙන්ම අහිමි වීම වැළකුණද, 30% ක තීරු බද්ද අපනයනකරුවන්ට තරඟකාරිත්වය පවත්වා ගෙන යා හැකි තිරසාර විසඳුමක් නොවන බවයි.

පසුගිය වසරේ රබර් අපනයන ආදායම වූ ඇමෙරිකානු ඩොලර් බිලියනයෙන් තුනෙන් එකක් උපයා ඇත්තේ ඇමෙරිකානු වෙළෙඳ පොළෙන් වන බවත් ඇමෙරිකාව මෙරට රබර් කර්මාන්තයට ඉතා වැදගත් අපනයන වෙළෙඳ පොළක් බවත් සිල්වා මහතා ප්‍රකාශ කළ අතර 30% ක තීරු බද්ද සුළු පරිමාණ නිෂ්පාදකයින් සහ කුඩා රබර් වගාකරුවන් දහස් ගණනකට ක්ෂණිකව බලපෑම් එල්ල කරනු ඇතැයි ඔහු සඳහන් කර ඇත.

Social Sharing
අවකාශය ආර්ථික