ශ්‍රී ලංකාව තුළ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act – PTA) යනු මානව හිමිකම් උල්ලංඝනයේ නග්න සංකේතයක් බවට පත්ව ඇත්තේ බොහෝ කළක සිටය. මෙම පනත, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් යැයි පවසමින්1979 දී(තාවකාලිකව) හඳුන්වා දුන්නද, එය බොහෝ විට රජය විවේචනය කරන පුද්ගලයින්, ජනමාධ්‍යවේදීන්, විරුද්ධ මත දරන්නන් ඇතුලු විශේෂයෙන් සංඛ්‍යාවෙන් සුළු ජන කොටස්වල(දෙමළ සහ මුස්ලිම්) පුද්ගලයන්, මර්දනය කිරීමට යොදා ගැනීම නිසා එහි සද්භාවය පිළිබඳ බරපතල ප්‍රශ්න මතුව ඇත. ආසන්නම සිදුවීමක් ලෙස පසුගිය මාර්තුවේ දී මොහොමඩ් රුෂ්ඩි නම් තරුණයාගේ අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය මෙම පනතේ භයානක බලපෑම සහ එය මිනිසුන්ගේ ජීවිතවලට එල්ල කරන හානිය පිළිබිඹු කරන තවත් ඛේදජනක උදාහරණයකි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් ඒ පිළිබද විමර්ශනය කරමින් මෙම සිද්ධියේ බරපතලකම පිළිබද නිවේදනයක් නිකුත් කරමින්, අත්අඩංගුවට ගැනීමෙන් රුෂ්ඩිගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවත්, රුෂ්ඩිට සිදුවූ අසාධාරණයට වන්දි ගෙවීම ඇතුළු නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර ඇත.
මොහොමඩ් රුෂ්ඩිගේ සිද්ධිය: ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අවභාවිතය
2025 මාර්තු 22 වන දින, මොහොමඩ් රුෂ්ඩි නම් තරුණයා ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය (CTID) විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, ඔහු “F*** Israel” යනුවෙන් සඳහන් ස්ටිකරයක් ඇලවීම හේතුවෙනි. මෙම ස්ටිකරය ත්රස්තවාදයට උසිගැන්වීමක් ලෙස බලධාරීන් විසින් හඳුනාගත් බව පවසමින්, ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලදී. එමෙන්ම, PTA අහෝසි කරනවා යැයි පවසමින් බලය ලබා ගත් මාළිමාණ්ඩුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රැදවුම් නියෝග නිකුත් කරමින් රුෂ්ඩිව රඳවා ගැනීමට අවසර දීම, මෙම සිද්ධිය තවත් උත්සන්න කළේය. පසුව අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටි තරුණයා ඇප මත මුදා හැරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණ පසුගිය අප්‍රේල් 7 නියෝග කළේය. කෙසේ නමුත් මෙම රැදවුම් නියෝග, රුෂ්ඩිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින්, ඔහුට එරෙහිව නිසි නීතිමය පදනමකින් තොරව ක්‍රියාත්මක වූ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශය වී තිබේ.
රුෂ්ඩිගේ අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබාගැනීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ භාවිතයේ ඇති මර්දනීය තත්ත්වය නැවත නැවතත් පෙන්වා දෙයි. මෙම පනත, පුද්ගලයන්ට නිසි චෝදනාවකින් හෝ නිසි නීතිමය ක්‍රියාවලියකින් තොරව රඳවා ගැනීමට ඉඩ සලසන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එය මඟින්, නිදහස් අදහස් ප්‍රකාශ කිරීම, සිතීමේ හා හෘද සාක්ෂියේ නිදහස, රැස්වීමේ නිදහස, සහ ආගමික හෝ ජාතික අනන්‍යතාවය මත පදනම් වූ වෙනස්කම්වලට එරෙහිව පුද්ගලයන්ට ඇති මූලික අයිතිවාසිකම්, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් තොරව ජීවත්වීමේ අයිතිය බරපතල ලෙස උල්ලංඝනය වේ. රුෂ්ඩිගේ සිද්ධියේදී, ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, එනම් ඊශ්‍රායලයේ ප්‍රතිපත්තිවලට එරෙහිව තම මතය පළ කිරීම, ත්රස්තවාදයක් ලෙස වර්ගීකරණය කිරීම, මෙම පනතේ අත්තනෝමතික බව පැහැදිළිව පෙන්වයි.
මානව හිමිකම් උල්ලංඝනයේ බලපෑම
මොහොමඩ් රුෂ්ඩි ගේ තරුණ ජීවිතයට මෙම අත්අඩංගුව හා රඳවා ගැනීම බලපෑ ආකාරය ඛේදජනක ය. ඔහුගේ රැකියාව, පවුල, සහ සමාජ ජීවිතය මෙම සිදුවීම නිසා බරපතල ලෙස බිඳ වැටුණු බව පැවසේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම, පුද්ගලයකුට එල්ල කළ හැකි බරපතලම මානසික හා භෞතික හානිවලින් එකකි. රුෂ්ඩිට එරෙහිව ඉදිරිපත් කළ චෝදනාවල නීතිමය පදනමක් නොතිබූ බව මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශනයෙන් තහවුරු වී ඇති අතර, ඔහුගේ රඳවා ගැනීම “මානව හිමිකම් උල්ලංඝනයක්” ලෙස හඳුනා ගෙන ඇතැයි අදාළ නිවේදයෙන් අවබෝධ වෙයි.
මෙම රඳවා ගැනීම රුෂ්ඩිගේ ජීවිතයට එල්ල කළ හානිය, ඔහු තනි පුද්ගලයකු ලෙස පමණක් නොව, ඔහුගේ පවුලට, ප්‍රජාවට, සහ ඔහු නියෝජනය කරන සමාජ කණ්ඩායමට ද බලපෑ ඇත. මුස්ලිම් තරුණයකු වන රුෂ්ඩි, ත්රස්තවාදයට සම්බන්ධ යැයි චෝදනා ලැබීම නිසා, ඔහුගේ ජාතික හා ආගමික අනන්‍යතාවය මත පදනම් වූ වෙනස්කමකට ගොදුරු වූ බව පැහැදිලි ය. මෙම සිද්ධිය, ශ්‍රී ලංකාවේ සංඛ්‍යාවෙන් සුළු ජන කොටස්වලට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීමේ බිහිසුණු රටාව නැවත නැවතත් පිළිබිඹු කරයි. මෙවැනි තත්ත්වයන්, සමාජය තුළ භීතියක් හා අවිශ්වාසයක් ඇති කරන බව ජාතික ජන බලවේග ආණ්ඩුව නොදන්නේද?
මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, රුෂ්ඩිගේ සිද්ධිය පිළිබඳ සිදු කළ විමර්ශනයෙන් පසු, 2025 ජුනි 13 වන දින නිවේදනයක් නිකුත් කරමින්, ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසයේ (CTID) ප්‍රධානියා ඇතුළු එම ඒකකය, රුෂ්ඩිගේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට නිර්දේශ කළේය.
එමෙන්ම, ජනාධිපතිවරයා විසින් නිකුත් කළ රැදවුම් නියෝග, රුෂ්ඩිගේ ජීවිතයට බරපතල හානියක් සිදු කළ බව දැන් අප කාටත් පැහැදිලිය. මෙම නිර්දේශවලට අනුව, රුෂ්ඩිට සිදු වූ අසාධාරණයට වන්දි ලෙස රුපියල් ලක්ෂ 2කක් ගෙවීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට නිර්දේශ කර ඇත. එය වැදගත් නිර්දේශයක් වුවත්, රුෂ්ඩිගේ ජීවිතයේ ගමන් මගට සිදුවූ හානිය නැවත ආපසු හැරවිය නොහැකිය. ඔහුගේ තරුණ ජීවිතයට එමගින් සිදුකරන ලද ඉතාමත් ගැඹුරු බියකරු බලපෑම නැවත සකස් කළ නොහැකිය. එනමුත් නැවත එවැනි සිදුවීම් අනාගතයේදී වළක්වා ගැනීමට නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ඉන් එක් ප්රමුඛ ක්රියාකාරීත්වයකි. නමුත් ඒ පිළිබද ආණ්ඩුවේ සූදානම ඒ තරම් සෞඛ්‍ය සම්පන්න නැති බවක් පෙනෙන්නට තිබේ. එය විසින් තවත් රුෂ්ඩිලා බිහි නොකරනු ඇතැයි අපට විශ්වාස කළ හැකිද? කෙසේ නමුත්, මානව හිමිකම් කොමිසමේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීම, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ඉහළ නැංවීමටත් මාළිමා ආණ්ඩුවේ ඇති කැපවීම පෙන්නුම් කරනු ඇත. එය එසේ වනු ඇතිද?
රැදවුම් නියෝගය සහ ජනාධිපති අනුර කුමාර දිසානයක
මානව හිමිකම් කොමිසමේ නිර්දේශ පිළිබද ජනාධිපතිවරයා හෝ ආණ්ඩුවේ කිසිවෙක් තවමත් කිසිදු ප්‍රකාශයක් සිදුකලා යැයි මෙය ලියන මොහොත වන විට දැන ගන්නට නොමැත. කෙසේ නමුත්, ජනාධිපතිවරයා විසින් මොහොමඩ් රුෂ්ඩිට එරෙහිව නිකුත් කළ රැදවුම් නියෝගය, නීතියේ ආධිපත්‍යයට හා මානව හිමිකම්වලට එල්ල කළ ලැජ්ජා සහගත පහරකි. එය, තරුණයකුගේ නිදහස අත්තනෝමතික ලෙස උල්ලංගනය කරමින්, ජනතා විශ්වාසය පළුදු කළ තීන්දුවකි. මෙවැනි ක්‍රියා, රාජ්‍ය බලය අවභාවිතා කිරීමට එරෙහිව ක්‍රියාකරනවා යැයි කියන, සමාජයේ සාධාරණත්වය තහවුරු කිරීමට බලාපොරොත්තුවන නායකත්වයකින් බලාපොරොත්තු නොවන ඛේදජනක පිළිවෙතකි. එබැවින් සිදුකළ මෙම ක්‍රියාව සම්පූර්ණයෙන් නොවුනත්, යම් ප්‍රමාණයකට හෝ යළි සකස් කළ හැකි වන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුලු ප්රජාතන්ත්රීය වටිනාකම් මර්දනය කරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුලු මර්දනීය නීති අහෝසි කිරීම සදහා ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුවට තිබෙන දේශපාලන උනන්දුව පෙන්වීම සහ ඒ තුළින් එවැනි පනත් අහෝසි කිරීමට කඩිනමින් ක්රියාකිරීමය. එසේ නොවුනහොත් එයින් පැහැදිලි වන්නේ මානව හිමිකම් ආරක්ෂා කිරීමත්, ප්‍රවර්ධනය කිරීමත් පිළිබදව මාළිමා ආණ්ඩුවට ඇති දේශපාලන වුවමනාවේ තරමය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) අහෝසි කිරීමේ අවශ්‍යතාව
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ඉතිහාසයේ කළු පිටුවකි. මෙම පනත, එහි ආරම්භයේ සිටම, දේශපාලන විරුද්ධවාදීන්, මාධ්‍යවේදීන්, විරුද්ධ මත දරන්නන් ඇතුලු සමාජ ක්‍රියාකාරීන් මර්දනය කිරීමට භාවිතා වී ඇත. එය, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට, විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්රකාශනයට හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (ICCPR) පටහැනි ය. මෙම පනත යටතේ, පුද්ගලයන්ට නිසි නීතිමය ක්‍රියාවලියකින් තොරව රඳවා ගැනීමටත්, ඔවුන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමටත් බලධාරීන්ට ඉඩ සැලසේ. මෙය, නීතියේ ආධිපත්‍යයට හා යුක්තියේ මූලධර්මවලට එරෙහි බරපතල වරදකි.
එබැවින් රුෂ්ඩිගේ සිද්ධිය, මෙම පනතේ අහෝසි කිරීමේ දැඩි අවශ්‍යතාව තවදුරටත් ඉස්මතු කරයි. එය, පුද්ගලයකුගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මර්දනය කිරීමට යොදා ගත් ආයුධයක් බවට පත්ව ඇත. රුෂ්ඩි විසින් අලවන ලදැයි කියන ස්ටිකරය, ඔහුගේ දේශපාලන මතය පළ කිරීමේ ක්‍රියාවක් වූ අතර, එය ත්රස්තවාදයක් ලෙස වර්ගීකරණය කිරීම, රජයේ අත්තනෝමතික බලයේ බරපතලකම, පැවති සියලුම ආණ්ඩු මෙන්, ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුලු මාළිමා ආණ්ඩුවත් පෙන්වීම ලැජ්ජා සගහතය.
එසේම මෙම සිදුවීම, සියලු ශ්‍රී ලාංකිකයන්ට, මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීමේ වගකීම පිළිබඳ නැවත මතක් කිරීමකි. එය, එක්ව එකමුතුව, යුක්තියේ හඬ ශක්තිමත් කිරීමට ආරාධනයකි. නැවත නැවතත් රුෂ්ඩිට අත්වූ ඉරණම ඇති නොවීම සදහා තවදුරටත් ක්රියාක්මක වීමට සිවිල් සමාජය ඇතුලු යුක්තිය පිළිබද සංවේදී සියලු මිනිසුන්ට නැවත නැවතත් මතක් කිරීමකි.
උපුටා ගැනිම විකල්ප වෙබ් පිටුවෙනි