මියන්මාර සයිබර් කඳවුරුවල සිටි ඉතිරි ලාංකිකයන් 15 දෙනාත් මුදවා ගැනේ!

මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල බලෙන් රඳවාගෙන සිටි මෙතෙක් වාර්තා වී ඇති ඉතිරි ශ්‍රී ලාංකියන් 15 දෙනා අද දින (06) මුදවාගත් බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත.

විදේශ කටයතු අමත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය මෙසේය,

“මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල බලෙන් රඳවාගෙන සිටි ඉතිරි ශ්‍රී ලාංකියන් 15 දෙනා (මෙතෙක් වාතථා වූ) අද (06) මුදවාගනු ලැබුවා. ඒ තායිලන්ත රජය සම්බන්ධීකරණයෙන් මෙරට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය හා තායිලන්තයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කායර්‍යාලය කළ මෙහෙයුමකිනි.
15 දෙනාගෙන් යුතු ශ්‍රී ලාංකිකයන් පිරිස අද පෙරවරුවේ මියන්මාර තායිලන්ත දේශසීමාවේ මියාවඩි ප්‍රදේශයේ මීසෝට්හි දී තායිලන්තයේ ශ්‍රි ලංකා තානාපති විජයන්ති එදිරිසිංහ මහත්මිය වෙත තායිලන්ත බලධාරීන් විසින් භාර දෙනු ලැබුවා. ශ්‍රී ලාංකිකයන් භාරගැනීමේ අවස්ථාවට තායිලන්ත තානාපති කායර්‍යාලයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.

මෙලෙස අපරාධ කඳවුරු වල රඳවා සිටි පිරිස මුදාගෙන ඇත්තේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය මරිස් සන්ගම්පොන්ස්ගේ මහතා සහ මියන්මාර විදේශ කටයුතු අමාත්‍ය යූ තාන් ස්වේ මහතා සමඟ වරින් වර කළ දුරකථන සංවාදවල ප්‍රතිපලයක් මතය. සයිබර් අපරාධ කඳවුරුවල සිර වී සිටි ශ්‍රී ලාංකියන් මුදවාගැනීමේ ක්‍රියාවලියට රාජතාන්ත්‍රිකව මැදිහත් වූ තායිලන්ත තානාපති කායර්‍යාලය, ප්‍රවාහන පහසුකම් සැලසූ සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර කායර්‍යාලය, සෙසු සුබසාධන පහසුකම් සැලසූ රාජ්‍ය නොවන ආයතන සහ තායිලන්ත හා මියන්මාර රජයන්ගේ කායර්භාරය අමාත්‍ය විජිත හේරත් මහතා ඇගයීමට ලක් කළේය.

ඉකුත් මාර්තු මසයේ 18 වන දින ද මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 14ක් සහ 2024 දෙසැම්බර් 17 වන දින ශ්‍රී ලාංකිකයන් 27ක් මේ අයුරින් නිදහස් කොට ගෙන මෙරටට ගෙන්වා ගනු ලැබුවා.”

මේ අයුරින් මෙරට බොහෝ පිරිස් වංචනික ආයතන වලට හසු වී විදෙස් ගතවන අතර එම රටවල විවිධ දුක් කම්කටොලු වලට මුහුණ පෑමට සිදු වේ. එහෙත් නිවැරදි මඟ පෙන්වීමක් යටතේ විදේශගත වන්නේ නම් මේ අයුරින් වංචනිකයන්ට හසු නොවී විදෙස් රැකියාවල නිරිත වීමට හැකියාව පවතින නමුත් මෙරට බොහෝ පුද්ගලයන්ගේ පවතින නොදැනුවත්භාවය මත විවිධ රටවල ගැටළු රාශියකට මුහුණ පෑමට සිදු වේ. ඒ අනුව මෙරට වැසියන් වංචනික ලෙස විවිධ ආයතනවලට හසු වි මුහුණ පෑ දුෂ්කරතා හා එලෙසින් වංචනිකයන්ට හසු නොවී නිවැරදි ආකාරයෙන් විදෙස්ගත වන ආකාරය සම්බන්ධයෙන් අප විසින් සිදු කළ උද්දේශන වීඩීයෝවක් පහත වේ.

Social Sharing
නවතම පුවත්