යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවට!

වත්තල, කෙරවලපිටිය ඉදිකොට  ඇති යුගදනවි බලාගාරය ශ්‍රී ලංකාවේ ඇති දෙවන විශාලතම විදුලි බලාගාරය වේ. මෙගාවොට් 300 ක විද්‍යුත් ජනන ධාරිතාවක් සහිත මෙම බලාගාරයේ ඉදිකිරීම් 2007 නොවැම්බරයේදී ඇරඹි අතර, අදියර දෙකකින් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරිණි. මෙගාවොට් 200 ක විදුලි ප්‍රමාණයක් ජනනය කරන පළමු අදියරේ ඉදිකිරීම් මාස 10 කදී නිම කෙරුණු අතර, බලාගාරයේ දෙවැනි අදියර 2010 පෙබරවාරියේදී සම්පූර්ණ කෙරිණි.

බලාගාරයේ ඉදිකිරීම කටයුතු වෙනුවෙන් HSBC හරහා යූරෝ මිලියන 152 ක ණය මුදලක් ලැබී තිබු අතර අක්කර 25 ක පමණ භූමි ප්‍රමාණයක පැතිර පවතින බලාගාරය සතුව, මෙගාවොට් 100 ක ධාරිතාවයක් ඇති GE Frame 9E ගෑස් ටර්බයින දෙකක් සහ එක් GE හුමාල ටර්බයිනයක් පවතී. වාර්ෂිකව බලාගාරය මගින් ගිගාවොට්පැය 1,800 ක විද්‍යුත් ප්‍රමාණයක් ජනනය කරනු ලබයි. බලාගාරයේ සිසිලන පද්ධතිය සඳහා පැයට ඝනමීටර 25000 ක මුහුදු ජල ප්‍රමාණයක් යොදා ගන්නා බව අන්තර්ජාලයේ සඳහන් වේ.

මේ යුගදනවි විදුලි බලාගාරයෙන් සියයට පනස් එකක කොටස් ප‍්‍රමාණයක් මුදල් අමාත්‍යාංශය සතුව පවතින අතර එම කොටස් ඇමරිකානු සමාගමට විකිණීම සදහා කැබ්නට් මණ්ඩලය අනුමත කර තිබුනේ මීට සති කිහිපයකට ඉහතදීය.

ඒ අනුව ඉන්  සියයට හතලිහක කොටස් ඇමරිකානු සමාගමකට විකිණීම සදහා වන ක‍්‍රමවේදයන්  සකස් කිරීම සදහා වන ගිවිසුමකට මුදල් ඇමැතිවරයා අත්සන් කර තිබේ.

මෙගාවොට් තුන්සීයක යුගදනවි බලාගාරයෙන් සියයට හතලික කොටස් ඇමරිකානු නිව් ෆෝට්රස් එනර්ජි සමාගමට ලබාදීම සදහා වන ක‍්‍රමවේදයන් මේ අනුව සකස් කෙරේ.

මේ  විදුලි බලාගාරය එල්.එන්.ජී. (LNG) ගෑස් වලින් ක‍්‍රියාත්මක වන විදුලි බලාගාරයක් ලෙස සකස් කිරීමට නියමිතව ඇති අතර එම පරිවර්තනය ඇමරිකානු සමාගමට පැවරීමට නියමිතව ඇත.

කිසිඳු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙම බලාගාරය ඇමරිකානු සමාගමකට විකිණීමට අදාල යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ අන්සොලිටට් යෝජනාවක් හෙවත් සමාගම විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනාවක් ලෙසය.

මේ සම්බන්ධයෙන් අප විදුලිබල මණ්ඩල වෘත්තිය සමිතියකින් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ මේ යුගදනවි බලාගාරය යනු විදුලි බල මාෆියාවේ තිඹිරි ගෙය බවත් මෙහි සිදු වන වංචා, දුෂණ බොහෝමයක් ඇති බවත්ය. ඒ නිසා මෙහි කොටසක් ඇමරිකාවට දීමේ වරදක් නොදකින බවත්ය.

-ශානි-

Social Sharing
නවතම