නීති තිබුණට ජනතාවට ඒ පිලිබඳ දැනුමක් නැහැ! – නීතිඥ ප්‍රියන්ත කරුණාතිලක

මානව හිමිකම් පිළිබඳ ගැටළු අද සමාජයේ බොහොමයක් පවතින නමුත් ඒවා පිටත සමාජයේ අවධානයට යොමු නොවෙන බවත් මේ පිළිබඳව කතා කරන්න උපදෙස් දෙන්න ආයතනයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක, නීතිඥ ප්‍රියන්ත කරුණාතිලක මහතා පවසයි.

ඔහු විසින් මේ අදහස් ප්‍රකාශ කළේ රත්නපුර දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ වදහිංසාවට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව පැවති සාකච්ඡාවකදීය.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,

රත්නපුර ප්‍රදේශයෙ ජනතාවට ප්‍රශ්නයක් ඇති වූ විගසම එයට එරෙහිව ක්‍රියාත්මක වීමේ යාන්ත්‍රණයක් මින් පෙර තිබුණෙ නැහැ. මෙම දුර බැහැර ප්‍රදේශවල ජීවත්වන ජනතාව යම් කිසි සිදුවීමකදී පැමිණිල්ලක් කරන්න අවශ්‍ය වුනොත් මානව හිමිකම් කොමිසමට, අධිකරණයට එම කටයුතු සඳහා කොළඹටම යන්න වෙනවා. මේ අඩුව පිරවීමට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය විශාල සේවයක් ඉටුවෙනවා. ඒ පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා.

විශේෂයෙන් මේ සම්බන්ධව අපේ රටේ නීතිමය රාමුව සෑහෙන දුරට සම්පූර්ණයි. මූලික නීති වලට අමතරව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත ක්‍රියාත්මක වීම, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහි පනත වැනි නීති හරහා විශාල පැතිකඩක් ආවරණය වෙනවා. නමුත් ඒ නීතිමය රාමුව දියුණු වූවත් ඒ පිළිබඳව ජනතාවගේ දැනුවත් වීම, ඒ සඳහා ඉදිරිපත්වීම පහළ මට්ටමකයි තියෙන්නේ.

1987-1988 කාලයේ රත්නපුර සූරිය කන්ද නඩුව කියන තරුණයන් විශාල පිරිසකගේ ඝාතනය සම්බන්ධ නඩුවක් පැවැතුණා බොහෝ දෙනෙක්ට මතක ඇති. මේ නඩුව අධිකරණයට ගෙන යාම සඳහා විශාල කාර්ය භාරයක් ඉටු කළේ මානව හිමිකම් සංවිධාන. එදා පොලිස් පැමිණිල්ලක්වත් භාර නොගත් පසුබිමක මානව හිමිකම් සංවිධාන නිසා පෙත්සම් සකස් කරමින් මෙය අධිකරණයේ නඩුවක් දක්වා ගෙන එන්න හැකිවුණා.

සුම් තාක්ෂය ඔස්සේ පැවති මෙම සාකච්ඡාව සඳහා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ දිස්ත්‍රික් ප්‍රථමාධාර මධ්‍යස්ථාන සම්බන්ධීකාරකවරැන් ඇතුළු මානව හිමිකම් ක්‍රියාකාරීන් රැසක් සහභාගි වූ අතර ආසියානු මානව හිමිකම් කොමිසමේ සභාපති නීතිඥ බැසිල් ප්‍රනාන්දු සහ රයිට් ටු ලයිෆ් ආයතනයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතාද මෙහිදී අදහස් දක්වනු ලැබුණි.

-යශෝධරා-

Social Sharing
නවතම