සෞඛ්‍ය අමාත්‍යාංශයේ අර්බුද ඇති කරන නිලධාරීන් ගැන අනාවරණයක්!

සෞඛ්‍ය අමාත්‍යාංශය අද වෛද්‍ය අමාත්‍යාංශයක් බවට පත් කරගෙන සිටින්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නොව සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලත සිටින ව්‍යාපාරික කල්ලියක් බව සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති කමිටුව කියා සිටියි.

වෛද්‍ය සේවාවට පමණක් 78%ක පමණ දීමනා වැඩි කිරීමේදී අනෙකුත් සෞඛ්‍ය සේවාවන් අතර බරපතල නොසන්සුන්තාවයක් ඇති විය හැකි බව හෝ  වෛද්‍ය පරිපාලන නිළධාරීන්ගෙන් උපදේශයක් හෝ අනතුරු ඇඟවීමක් නොලැබුනේද යන්න විමසා සිටින එම කමිටුවේ කැඳවුම්කාර මණ්ඩලයේ රවී කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ අමාත්‍යවරිය, ලේකම්වරයා හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතැම් ගැටළු විසඳා දීමට සාධාරණ උත්සහයක් ගනු ලැබූවද පහල සිටින නිළධාරීන් කිහිපදෙනෙකු හිතාමතාම වෛද්‍ය නොවන වෘත්තීන් පිළිබඳව ද්වේශ සහගතව කටයුතු කරමින් අනවශ්‍ය අර්බුද නිර්මාණය කරන බවය.

ඔවුන් ඇතැම් අවස්ථාවල ගැටළු සඳහා විසඳුම් සොයන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහල කළමණාකරණ නිළධාරීන්ට පවා බැන තර්ජනය කරමින් ඒවා වලකන බවත් රවී කුමුදේශ් මහතා පවසයි.

එසේම මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු දැඩි දෝෂ දර්ශණයට ලක්ව ඇති අතර මෘතදේහ බහාලුම් ගණුදෙනුවක් සම්බන්ධයෙන් ඔහු පිළිබඳව සැළකිලිමත් වන ලෙස ජනාධිපතිවරයාද සෞඛ්‍ය ලේකම්වරයාව දැනුවත් කර ඇති නමුත් තවදුරටත් ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියළු තීරණ වලට හවුල් වෙමින් අවුල් සහගත තත්ත්වයක් ඇති කරන බවද සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති කමිටුව පෙන්වා දෙයි.

ඒ නිසා තම ගැටළු සඳහා විසඳුම් ඉදිරිපත් කිරීමේදී අදාල අතිරේක ලේකම්වරයාගෙන් උපදෙස් ලබා ගැනීම හෝ ඔහුගේ මැදිහත් වීම වලක්වන ලෙස වෘත්තීය සමිති ඉල්ලා සිටියි.

එසේම වෛද්‍යවරුන්ට පමණක් දීමනා වැඩි කිරීමෙන් ඇතිවන අර්බුධකාරී තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරියව නිවැරදිව දැනුවත් නොකරමින් හිතාමතාම අර්බුදයක් ඇති වීමට ඉඩ සැලැස්වූ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු පිළිබඳවද සෞඛ්‍ය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ලිඛිතව සිය විරෝධතාවය ඉදිරිපත් කර ඇත. ඔහු හදිසි සේවා රෙගුලාසි අවභාවිතා කරමින් රිජ්වේ ආර්යා ළමා රෝහලෙහි උද්ඝෝෂණ ව්‍යාපාරයට සිදු කරන ලද මැදිහත්වීමද මෙහිදී විවේචනයට ලක් විය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ (15) දින කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

-ශානි-

Social Sharing
නවතම