පාසල් නැවත විවෘත කරනවිට ළමා රෝග විශේෂඥයන්ගෙ සහාය ඉල්ලයි!

වසංගත ව්‍යාප්තිය හමුවේ  වසා දමා තිබෙන  ශ්‍රී ලංකාවේ පාසල් නැවත ආරම්භ කරන අවස්ථාවක දී දරුවන්ගේ රෝග සහ ගැටලු හඳුනා ගැනීම සඳහා වෛද්‍ය සහාය ලබා දීමේ  වැඩ පිළිවෙලක් දියත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ල‌බා දී ඇත්තේ ඒ සදහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහාය ලබා ගන්නා ලෙසයි.

පාසල් නැවත විවෘත කිරීම සහ ගුරුවරුන්ට හා සිසුන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා  එම උපදෙස් ලබා දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

කොවිඩ් වසංගත තත්වය පාලනය වූ වහාම අදියර කිහිපයක් යටතේ පාසල් නැවත ආරම්භ කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා, ගුරුවරුන්ට අවශ්‍ය එන්නත් ලබා ගැනීම සෞඛ්‍ය අමාත්‍යංශය ඔස්සේ ඉටු කර ගත හැකි බව ද එහිදී පවසා තිබේ.

එම සාකච්ඡාවට එක්ව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයන් අගමැතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ  පාසල් නැවත ආරම්භ කිරීමේදී ඇතිවන ගැටලු මගහරවා දීම සඳහා සිය සංගමයේ සහය අධ්‍යාපන කලාප මට්ටමෙන් ලබා දිය හැකි බවයි.

“ඒ අනුව රට පුරා විසිරී තිබෙන අධ්‍යාපන කලාප 99 උදෙසා තම සංගමයේ නියෝජිතයන් නම් කරමින් අදාළ කටයුතු විධිමත් කරන බව එම සංගමයේ නියෝජිතයෝ පෙන්වා දුන්හ.”

පාසල් නැවත ආරම්භ කිරීමට අදාළව එන්නත්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ නම් 11 ශ්‍රේණීය හා 13 ශ්‍රේණියේ දරුවන්ට එහි ප්‍රමුඛතාවය දිය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා එහිදී සදහන් කර තිබේ.

මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා දෙලක්ෂ හැත්තෑ නව දහසක් පමණ වන ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළු ලක්ෂ තුනකට ආසන්න පිරිසට එන්නත් ලබාදීමේ වැදගත්කම ද මහාචාර්ය කපිල පෙරේරා  විසින් පෙන්වා දී ඇත.

පාසල් ආරම්භ කිරීමේ දී දරුවන් සහ ගුරුවරුන් ආරක්ෂීත ක්‍රමවේදයක් ඔස්සේ පාසලට කැඳවා ගැනීම පිළිබඳව වැඩපිළිවෙලක් සකස් විය යුතු බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා, පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන්නැයි ඉල්ලා සිටි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තකමේන්තුව වැඩි දුරටත් සදහන් කරයි.

Social Sharing
නවතම