“දුරකතනයේ අරමුණ අලියා පරාජය කිරීම වුවත්, අලියාගේ අරමුණ ආණ්ඩු බලය ලබා ගැනීමයි!” – සාගල

පක්ෂය හැර දමා ගිය මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට වඩා ඔවුන්ගේ සිත් දිනා ගනිමින් පක්ෂය යළි ශක්තිමත් කර ගැනීම එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂාව යැයි මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සාගල රත්නායක මහතා පවසයි.

විනය පරීක්ෂණ පැවැත්වීමට වඩා පක්ෂයේ සාමාජිකයන් ප්‍රමාණය ඉහළ නංවා ගැනීම අද වන විට එක්සත් ජාතික පක්ෂයේ අරමුණක් වන නමුත් අප පක්ෂයේ සාමාජිකත්වය තුළ රැඳී සිටිමින් වෙනත් පක්ෂයක මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවන් සිදුකරන්නේ නම් ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණ ගැනීමට සිදුවන බව ඊයේ (27) මහනුවරදී පැවති පාක්ෂික හමුවකින්  අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සාගල රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

යුක්ති මූලධර්ම වලට අනුකූලව සාධාරණ විනය පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව පක්ෂයෙන් නෙරපා හරින්නේ නම් ඔහුගේ මන්ත්‍රී ධුරය නිරායාසයෙන්ම අහිමිවන බව පළාත් පාලන ආයතන පනතේ සංශෝධනයත් සමග තහවුරු වී ඇතැයි කී ඒ මහතා තවදුරටත් මෙසේ  සඳහන් කළහ.

මැතිවරණ වකවානුවල විවිධ පාර්ශ්වයන් කුමන දේ ප්‍රකාශ කළත් එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණයේදී තරඟ කරන්නේ දුරකථනය සමග නොව ආණ්ඩුව සමඟයි. ආණ්ඩු බලය ලබාගෙන රටේ ජනතාවට වැඩ කිරීමට ඉදිරිපත් විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා.

අලියා පරාජය කිරීම දුරකතන පක්ෂයේ  අරමුණ විය හැකි වන නමුත් එක්සත් ජාතික පක්ෂයේ අරමුණ වන්නේ ආණ්ඩු බලයක් ලබා ගැනීමයි.

එම්. සී. සී. ගිවිසුම හා සම්බන්ධව අප කිසිදු මුදලක් මේ දක්වා ලබාගෙන නැහැ. එමෙන්ම ඔවුන්ගේ ගිවිසුම මේ වන විට වලංගු වන්නේත් නැහැ. ඒ බව ඇමරිකානු තානාපති කාර්යාලය තහවුරු කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව තුළ දුර්වල වූ අවස්ථාවක් වර්ෂ 1970 දී තිබෙනවා. එදා අප සමගි වී පක්ෂය ශක්තිමත් කර ගත්තා. එසේ සමඟිව ශක්තිමත් වූ අප වර්ෂ 1977 දී හයෙන් පහක බහුතර බලයක් ලබාගෙන රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න හැකි පාලනයක් දියත් කළා.

අද අප භුක්ති විදින නිදහස් ආර්ථිකය උදාකර ගත්තේ එදා පක්ෂය ශක්තිමත් වුණු අවස්ථාවේදී. ඒ අයුරින් අපි යළිත් ශක්තිමත් වී මෙරට ජනතාවට යහපත් අයුරින් ජීවත් වීමට ඇති හැකියාවක් නිර්මාණය කරනවා යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම