“ඇස්ට්‍රා සෙනෙකා එන්නත පුද්ගලික අංශයට දෙන්නේ නෑ” – සමාගම ශ්‍රී ලංකා රජයට දන්වයි

මාරාන්තික කොරෝනා වසංගතය පාලනය සඳහා වන එන්නත් ශ්‍රී ලංකාවට ගෙන්වීමට පෞද්ගලික අංශය කරන ඉල්ලීම් ඉටු කළ නොහැකි බව ලෝකයේ ප්‍රධානතම එන්නත් නිෂ්පාදන සමාගමක් විසින්  ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ.

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වෙත ලිපියක් යොමු කරමින්  ඒ බව දැනුම් දී ඇත්තේ ඇස්ට්‍රා සෙනෙකා ආයතනයේ ආසියා කලාපයේ රාජ්‍ය කටයුතු පිළිබඳ සහකාර අධ්‍යක්ෂක ජැස්පර් මේන්ස් විසිනි.

ඇස්ට්‍රා සෙනෙකා ආයතනය විසින් නිශ්පාදිත කොවිඩ් 19 එන්නත අලෙවි කිරීම සඳහා බොහෝ පෞද්ගලික වෙළඳුන් සහ ආයතන ශ්‍රී ලංකා රජය වෙත යෝජනා ඉදිරිපත් කර ඇති බව තමන්ට දැනගන්නට ලැබී ඇති හෙයින් මෙම ලිපිය ඉදිරිපත් කරන බව ඔහු සඳහන් කරයි.

“අපි විසින් සහතික කරන්න කැමතියි, මෙම වසංගතය හැකි ඉක්මණින් අවසන් කිරීමට සහය වීම සඳහා, රජයන්ට සහ ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානවලට අපගේ එන්නත උපරිම වශයෙන් ලබා දීමටයි මේ මොහොතේ අපගේ අවධානය යොමු වී තිබෙන්නේ.”

එමනිසා දැනට පෞද්ගලික අංශය වෙත තමන්, මෙම එන්නත කිසිඳු අයුරකින් සැපයීමක්, විකිණීමක් හෝ බෙදා හැරීමක් සිදු නොකරන බව ඇස්ට්‍රා සෙනෙකා ආයතනයේ ආසියා කලාපයේ රාජ්‍ය කටයුතු පිළිබඳ සහකාර අධ්‍යක්ෂක ජැස්පර් මේන්ස් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වෙත දැනුම් දී තිබේ.

පුද්ගලික අංශය එම එන්නත ලබා දෙන බවට කරන ප්‍රචාර සම්බන්ධයෙන් සමාගම අනතුරු ඇඟවීමක්ද  කරයි.

“ඇස්ට්‍රා සෙනෙකා නොවන, කවර හෝ වෙනත් වෙළඳ ආයතනයක් විසින්, පෞද්ගලික එන්නත් ලබා දීමට ඉදිරිපත් වන්නේ නම්, එය බොහෝ දුරට ව්‍යාජ එන්නතක් විය හැකි බැවින්, එවැනි අවස්ථාවකදී එම එන්නත ප්‍රතික්ෂේප කර අදාළ බලධාරීන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ යුතු” බව සිය ලිපිය මගින් ඔහු වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

එම ලිපියේ වැඩි දුරටත් සදහන්ව ඇත්තේ  ලංකාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම සඳහා නම් කර ඇත්තේ කොවැක්ස් ව්‍යාපෘතිය (COVAX), යුනිසෙෆ් (UNICEF) සහ ඉන්දියාවේ සේරම් ආයතනය (SII) පමණක් බවයි.

රටේ පවතින තත්වය  හමුවේ පෞද්ගලික අංශයට ද කොවිඩ් එන්නත් ආනයනය කිරීමට අවසර ලබාදිය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මේ වසරේ මාර්තු මසදී ප්‍රකාශ කර තිබුනි.

එම සංගමයේ  සභාපති උපුල් රෝහණ පෙන්වා දී තිබුනේ කර්මාන්තශාලා සහ අනෙකුත් වැඩකරන ආයතනවලින් කොවිඩ් ආසාදිතයන්  වැඩි ප්‍රමාණයක් දැනට වාර්තාවෙමින් ඇති බැවින්  එන්නත් ලබාදීම සඳහා මීළඟ ප්‍රමුඛතාව වියයුත්තේ වැඩකරන ජනතාව බවයි.

“ලංකාවේ කොවිඩ් ආසාදිතයෝ වැඩි ප්‍රමාණයක් කර්මාන්තශාලා සහ අනෙකුත් වැඩකරන ආයතනවල වාර්තා වෙනවා. විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තශාලා ආශ්‍රිතව. එන්නත් ලබාදීම සඳහා අපේ මීළඟ ප්‍රමුඛතාව විය යුත්තේ වැඩකරන ජනතාව. ඒ අවශ්‍යතාව සැපයීම සඳහා රජයට මේ මොහොතේ ඉඩකඩ නැත්නම් මේ එන්නත් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට අවශ්‍ය අනුමැතිය ලබාදීම සිදුකළ යුතුයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව සෞඛ්‍ය අංශවලින් එන්නත් ලබාගන්නා පදනම මත ලංකාව තුළට පෞද්ගලික අංශයට එන්නත් ගෙන්වීමට අවසර ලබාදීමේ ගැටලුවක් නෑ.” ඔහු වැඩි දුරටත් පවසා තිබුනි.

The Astra Seneca vaccine is not available to the private sector

Social Sharing
නවතම