වාහන වල සෞඛ්‍ය පාස් අලවා පාරේ යන්නේ ඩොක්ටර්ස්ලා විතරක්ද ? – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය විමසයි.

වාහන වල සෞඛ්‍ය අවසරපත ගසාගෙන යන්නේ වෛද්‍යවරුන් පමණක් යැයි පාලකයින් සිතා සිටීම තුලින් පෙනී යන්නේ ඔවුන්ට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති අවබෝධය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

මේ රටේ සෞඛ්‍ය සේවකයින් එක් ලක්ෂ පනස් දහසක් සිටින බවත් ඉන් බහුතරයක් සිටින්නේ බස්නාහිර පළාතේ බවත් පෙන්වා දෙන ඒ මහතා පවසන්නේ එසේ නම් බස්නාහිර පළාතේ වෛද්‍ය ලාංජන සහිත වාහන ගමන් කිරීමේ හැකියාවත් වැඩි බවය.

අද පාලකයන් සෞඛ්‍ය ක්ෂේත්‍රය පිලිබඳ වැටහීමක් නැති බවත් ඔවුන් සිතන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කියු විට වෛද්‍යවරුන් පමණක් සිටීතැයි සිතන බවත් නමුත් එය එසේ නොවන බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන්ට අමතරව හෙදියන්, පරිපුරක වෛද්‍ය වෘත්තිකයින් ආදිය පමණන් නොව බෙහෙත් සපයන අය පවා සිටින බව ඔහු පෙන්වා දෙයි.

මේ අවස්ථාවේ තමන්ගේ වාහන වලින් රාජකාරියට යනවා ඇර ෂොපින් යාමට වෙළඳසැල් විවෘතව නැති බව සිහිපත් කරන ඔහු පවසන්නේ පාලකයින් මෙවැනි විහිලු කථා පැවසිමෙන් වැළකිය යුතු බවය.

ඔහු මේ බව පවසා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොරෝනා මර්දන කමිටුවේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ දී (24) පැවැති සාකච්ඡාවේදී සඳහන් කර තිබු  බොහෝ දෙනකු මේ අවස්ථාවේදී සිය වගකීම ඉටු නොකිරීම ගැටළුවක් බවත් සමහරුන් ඩොක්ටර්ස්ලා බව හඟවන බෝඩ් වාහනවල ප්‍රදර්ශනය කර එහෙ මෙහෙ ගමන් කරන බවත් “ඩොක්ටර්ස්ලා ඔච්චර පාරේ ඉන්න විදිහක් නැහැ “ යැයි ප්‍රකාශ කර තිබු අදහස සම්බන්ධයෙනි.

-ශානි-

 

Social Sharing
නවතම