බැසිල් රාජපක්ෂගේ ක්‍රියාකලාපය ගැන මුරුත්තෙට්ටුවේ හිමියන් කළකිරෙයි!

එදා යුද්ධ සමයේ බෝම්බයක් පිපිරී ජීවිත අහිමි වූ පසුව ඒ  ප්‍රදේශයේ  ආරක්ෂාව තර  කරන බවත් එලෙසම දැනුත් රෝගය පාලනය කිරීමට උත්සහ ගන්නේ යැයි  මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

ඊට හොඳම නිදසුන රෝගීන් වාර්තා වීමට පෙර සුදානම් නොකළ රෝහල් දැන් සුදානම් කරන බව ද උන් වහන්සේ පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මීට වඩා අවධානයෙන් මේ ගැන කටයුතු කළා නම් මෙපමණ ව්‍යාප්තියක් සිදු නොවන බවත් අද සිදුව ඇත්තේ අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමක් බවද උන් වහන්සේ පවසයි.

ගිය අප්‍රේල් මාසයේ මිය ගිය කොරෝනා මරණ ගැන දැන් පවසන බවත් දිනකට මිය යන සංඛ්‍යාව, දිනකට වාර්තාවන රෝගීන් සංඛ්‍යාව හරියට ජනතාවට දැන ගැනීමට ඉඩ නොදී සෞඛ්‍ය අමාත්‍යාංශය අද චක්‍රලේඛ එවමින් සොෟඛ්‍ය සේවකයින්ගේ කටවල් වසනවා යැයිද උන් වහන්සේ පෙන්වා දෙයි.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසන්නේ සෞඛ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කර ඇති මේ චක්‍රලේඛය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවය.

එසේම අද රට පුරා වාට්ටු හදමින් පවතින බවත් මේ වාට්ටු පරීක්ෂා කිරීමට යාමේදී මේට්‍රන්වරියක් හෝ සිස්ටර් කෙනෙක් යා යුතු වුවත් අද එසේ ඔවුන්ව රැගෙන නොගොස් ඔවුන්ට කැමති අය පමණක් වාට්ටු පරීක්ෂා කිරීමට රැගෙන යන බවත් මේ ඇතමුන් රෝහලේ බිත්ති හතරේ දුරවත් කියා ගන්නට බැරි අය යැයිද  සඳහන් කර න උන් වහන්සේ පවසන්නේ මේවා විධිමත් සෞඛ්‍ය සේවාවට බාධාවක් බවය.

අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට කළ පුරුද්දත් නැහැ, පළ පුරුද්දත් නැතැයිද කියා සිටින උන් වහන්සේ පවසන්නේ මේ සඳහා දක්ෂ නිලධාරීන් පත් කළ යුතු බවයි.

එසේම රටේ මෙතරම් බරපතල තත්වයක් තිබියදී බැසිල් රාජපක්ෂ මහතා කුමන හේතුවක් මත හෝ රටින් බැහැරව යාම අනුමත කළ නොහැකි බව පවසන  මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පෙන්වා දෙන්නේ විශේ‍ෂයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස ඔහු පත්කර සිටි බැවින් කිසිසේත්ම ඔහුට එම වගකීමෙන් නිදහස්වීමට අයිතියක් නොමැති බවත්, එය වගකීම් පැහැර හැරීමක් ලෙස සැළකිය හැකි බවත්ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, බුද්ධික පතිරණ මහතා වැනි දේශපාලනඥයන්, රටේ සියලු දෙනාට එන්නත් ලබාදෙනතුරු තමන් එන්නත් ලබා නොගන්නා බවට සිදුකර ඇති  බවත් එය ඉතා යහපත් ප්‍රතිපත්තියක් බවත් එලෙසම  බැසිල් රාජපක්ෂ මහතාට තමාට පෙර රට පිළිබඳව කල්පනා කිරීමට තිබූ බවද උන් වහන්සේ පවසයි.

මීට පෙරද මෙවැනි ආකාරයෙන්ම බැසිල් රාජපක්ෂ මහතා තීරණාත්මක අවස්ථාවලදී රටින් පිටව ගිය බවත්, ඔහු ඇමරිකාවේ සිටිමින් හෝ රටේ සිදුවන කටයුතු සොයා බලන්නේ නම් එය වැදගත් වන බවත් මුරුත්තෙට්ටු‍වේ ආනන්ද හිමි වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

-ශානි-

Social Sharing
නවතම