අනීතික ඝාතන වහා නවත්වන්න – විපක්ෂ නායක

පොලිස් අත්අඩංගුවේ සිටි ඌරුජුවා හා කොස්ගොඩ තාරක පොලිසීයේ වෙඩි තැබීමෙන් මිය ගියේ ඊයේ (13) සහ පෙරේදා (12) දිනයන්හීදීය. පොලිසීය මේ ඝාතන දෙක සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ මෙම සැකකරුවන් විමර්ශන කටයුත්තක් සඳහා රැගෙන යමින් සිටියදි සිදු වු යම් සිද්ධීන් නිසා පොලිසියට අවම බලය පාවිච්චි කිරීමට සිදු වූ බවය.

මෙම ඝාතන සම්බන්ධයෙන් ඊයේ (13) දින විපක්ෂ නායක කාර්යාලයේ ද අවධානයට යොමු විය. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ  අපරාධකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක වියයුතු බවත්, එහෙත් නීතියට පිටින් ගොස් හිතුමනාපයට ආණ්ඩුව කරන අනීතික ඝාතන වහාම නවතා දැමිය යුතු බවත්ය.

පොලිසිය භාරයේ සිටින සැකකරුවෙකු ඝාතනය කරන විට එම රාජ්‍යය අවනීතිය රජ කරන ෆැසිස්ට් රාජ්‍යයක් බවට පත්වන බවත් එවන් ඝාතන තුළින් සැකකරු සමග ගණුදෙනු කළ දේශපාලකයන්ට සහ ඉහළ පෙලේ ජාවාරම්කරුවන්ට නීතියේ රැහැනින් පැන යාමට අවස්ථාව හිමිවිය හැකි බවත් පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ එයින් නීතියේ ආධිපත්‍යය සහ  නීතිය බලාත්මක කරන ආයතන කෙරේ ඇති විශ්වාසය අහෝසි වී යන බවයි.

මේ ඝාතන රැල්ල නිසා මානව හිමිකම් උල්ලංඝනය වන බවත් රටක් ලෙස රටේ ආරක්ෂාව තහවුරු වන ආකාරයෙන් මෙයිට වඩා වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතුව ඇතැයිද කැලෑ නීතිය රජ වීමට ඉඩ දිය නොහැකි බවද හෙතෙම කියා සිටියි.

අපරාධකරුවන්ට දඬුවම් ලබාදිය යුතු නමුත්, එය නෛතික ක්‍රියාවලියක් තුළ අධිකරණයේ තීරණය මත සිදුවිය යුතු බවත්, වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම පොලීසියට හෝ ආණ්ඩුවට අයිති දෙයක් නොවන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින්ද මෙම ඝාතන හෙළා දකිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.

-ශානි-

Social Sharing
නවතම