කාබනික පොහොර භාවිතයේදී අස්වැන්න අඩු වූවහොත් පාඩුව පියවන්න රජය සුදානම්!

ජනාධිපතිවරයාගේ සෞභ්‍යාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ව තිබුණේ මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු බවකි. නමුත් එය සිදුවන ආකාරයක් සඳහන්ව තිබුණේ නැත.

මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තීරණය කර ඇත්තේ රසායනික පොහොර ආනයනය තහනම් කිරීමටය. ඒ ගොවියන් කාබනික පොහොර භාවිතයට හුරු කිරීමටය.

නමුත් කිසිඳු ගොවියෙකු මෙයට එකඟ නැත. ඔවුන් පෙන්වා දෙන්නේ මෙය කඩිමුඩියේ කළ නොහැකි දෙයක් බවත් පියවරෙන් පියවරට කළ යුතු දෙයක් බවය. වසර ගණනාවක් පුරා රසායනික පොහොරට හුරු වී ඇති පැල එකවරම කාබනික පොහොරට හුරු කිරීම අසීරු බවත් මෙහිදී ගොවීන්ට පාඩු ලැබීමට සිදුවන බවත් ඔවුන් පෙන්වා දෙයි.

නමුත් ජනාධිපතිවරයා දරන්නේ වෙනත් මතයකි. ඔහු පවසන්නේ කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට මීට පෙර පැවති රජයන් උත්සහ කළ ද එය අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි වූ නමුත් මේ අභියෝගාත්මක ක්‍රියාවලිය නිවැරදි ක්‍රමෝපාය හඳුනාගෙන රට වෙනුවෙන් කළ යුතු කාර්යයක් බවය.

කාබනික පොහොර භාවිතයේ දී අස්වැන්න අඩුවී ආදායමේ වෙනසක් වුවහොත් සහතික මිල ඉක්මවා වී මිලදී ගැනීමට රජය සූදානම් බවත් ගොවියා ඒ සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් පාරිභෝගිකයාට පවතින මිලට සහල් ලබාගත හැකි පරිදි වැය බර දැරීමට රජය සූදානම් බවත් ජනාධිපතිවරයා ගොවියන්ට දන්වා සිටියි.

එසේම රසායනික පොහොර ආනයනය කළ සමාගම් කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කරන්නේ නම් ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය සූදානම් යැයි ද ඔහු පවසයි.

“දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ” සාමාජිකයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිවරයා  විසින් මේ බව සඳහන් කෙරිණ.

-ශානි-

Social Sharing
නවතම