ජනතාව කුතුහලයට පත් කළ සංචරණ සීමාව අද සිටයි.

සීඝ්‍රයෙන් රට පුරා පැතිර යන කොවිඩ් වසංගතය හමුවේ රට වසනවාද? නැද්ද? යන්න ඇතුලු තීන්දු තීරණ රැසක් සාකච්ඡා කිරීමට ඊයේ (10)  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය  අංශ කීපයක හමුවක් පැවැත්විණි.

එහිදී තීරණය වී තිබුණේ මැයි 30 දා තෙක් සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවීමටත්, පිරිස් එක් රැස්වී කරන සියලු සම්භාෂණ අවස්ථා අවලංගු කිරීමටත්, වෙළෙඳ ආයතන තුළට පිවිසීමේ හා රැදී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව සීමා කිරීමටත්, ආසාධිතයන් බහුලව හමුවන ප්‍රදේශ හුදකලා කිරීම වැනි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමටය.

ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය මේ පිලිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබු අතර ඒ අනුව සියලු මාධ්‍ය බ්‍රේකින් නිව්ස් හරහා කියා සිටියේ මැයි 30 තෙක් පළාත් අතර සංචරණය සීමා පැනවු බවටය.

නමුත් මෙහිදී කොතැනකවත් කවදා සිට මේ පළාත් අතර සංචරණ සීමා පනවන්නේද යන්න සඳහන් වුයේ නැත. ජනාධිපති මාධ්‍ය නිවේදනයේවත් ඒ බව සඳහන් වුයේ නැත.

මේ ප්‍රවෘත්තියත් සමඟ රාජකාරි සඳහා මෙන්ම අසනීප වලට ප්‍රතිකාර ලබා ගැනීමට  කොළඹ මෙන්ම පළාතකින් පළාතකට ගොස් සිටි බොහෝ දෙනා නිරුත්තර වූයේ තමන් මැයි 30 තෙක් නිවසට යන්නේ කෙසේද? කියාය. එසේම මේ ප්‍රවෘත්තියත් සමඟ අන්ත්ර් පළාත් බස් රථ සේවාවද අත්හිටුවීමට ක්‍රියා කර තිබුණි. මෙයින් බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයට පත් වී තිබුණි.

මේ අතර කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පෞද්ගලික රූපවාහිනී නාළිකාවක  වැඩසටහනකට එක් වෙමින් මේ පිලිබඳ පැහැදිලි කිරීමක් කර සිටියේය.

ඒ පළාත් අතරසංචරණ සීමා තවම පනවා නැති බවත්  ඉදිරි පැය 48 තුළදී  පැනවීමට නියමිතව තිබෙන බවත්ය.  එසේම පළාත් අතර සංචරණ සීමා අවශ්‍ය පරිදි පනවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර අද උදෑසන යළි ඔහු ප්‍රකාශ කර සිටියේ අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම පළාත් අතර සංචරණ සීමා පැනවෙන බවය.

-ශානි-

Social Sharing
නවතම