කොවිෂිල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාවට මොකද වෙන්නේ?

මේ පැතිර යන ගෝලීය වසංගතයට අවසන් විසඳුම එන්නත්කරණය බව බොහෝ දෙනා පවසයි. මෙරට ජනාධිපතිවරයාද එය පිළිගෙන ඇත. ඒ නිසා මේ වන විට විවිධ රට වලින් නිෂ්පාදනය කෙරෙන කොවිඩ් මර්දන එන්නත් දැන් ජනතාවට ලබා දෙමින් ඇත.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව හා අණුක විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කර ඇත්තේ කොරෝනා මර්ධන එන්නත් එක් මාත්‍රාවකින් මාස තුනකට රෝගය වැළඳීමේ ප්‍රවනතාව අඩු වන බවය.

එසේම යම් ආකාරයකින් රෝගය වැළඳුනහොත් සංකූලතා මතුවීම අඩු බවත් පුද්ගලයකුට උපරිම ආරක්ෂාව ලැබෙන්නේ දෙවන මාත්‍රාව ලබාගැනීමෙන් පසුව බවත් ඇය සඳහන් කර සිටියි.

මේ අතර ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලබාගත් වැඩිහිටි පුද්ගලයන්ට එහි දෙවන මාත්‍රාව නිර්දේශිත කාලයේ ලබා දීම වැදගත් බවද ඇය පෙන්වා දී තිබේ.

නමුත් මේ වන විට ලංකාවේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත ඇත්තේ ලක්ෂ තුනකට පමණ පිරිසකට. නමුත් මෙහි පළමු මාත්‍රාව පුද්ගලයින් සංඛ්‍යාව නව ලක්ෂ 28,107 කට ලබා දී ඇත.  ඒ අනුව මෙහි දෙවන මාත්‍රාව ලබා දීම සඳහා මෙරටට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නතේ ලක්ෂ හයක පමණ හිඟයක් මේ වන විට මතුව ඇත.

රජය එය ඉන්දියාවෙන් කෙසේ හෝ ගෙන්වා ගන්නා බව මීට පෙර පැවසුවත් දැන් එය කළ නොහැකි වී ඇත. මන්ද ඔක්ස්ෆර්ඩ් කොවිෂීල්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ සීරම් ආයතනයේ ප්‍රධානී Adar Poonawalla ඉන්දියාව හැර ගොස් එංගලන්තයට යාම නිසාය.

කොවිෂීල්ඩ් කොවිඩ් එන්නත නිෂ්පාදක ඉන්දීය සීරම් ආයතනයේ ප්‍රධානී Adar Poonawalla ට පහුගිය කාලයේ තර්ජන එල්ල වන්නට වුයේ එරට වයස අවුරුදු 18 ත් 45 ත් අතර වයස් කාණ්ඩ සඳහා ලබා දෙන එන්නත, සාමාන්‍ය මිලට වඩා ඉන්දීය රුපියල් 150 ක පමණ මුදලක් වැඩිපුර අයකරන බවට සැලවීමත් සමගිනි. පසුව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝග පරිදි මොහුට විශේෂ බලකායේ කමාන්ඩෝ බටයන් දෙදෙනෙකු හා පොලිස් නිලධාරීන් ඇතුළත් 11 දෙනෙකුගේ කණ්ඩායමක් ආරක්ෂාව ලබා දුන්හ. එවන් පසුබිමක මොහු හදිසියේම ඉන්දියාව අතහැර එංගලන්තයට ගොස් තිබුණි.

එංගලන්තයට ගිය Adar Poonawalla මාධ්‍යට පවසා තිබුණේ කොවිෂීල්ඩ් එන්නත ලබා දෙන ලෙස ඉල්ලමින් තමන්ට ඉන්දියාවේ දේශපාලඥයින් සහ බලවත් පුද්ගලයින්ගෙන් තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබෙන බවත් සියලු වගකීම් සියල්ලම තමන්ගේ උරහිස මතට වැටී තිබෙන බවත්ය. ඒ නිසා තමන් ඉන්දියාව  අතහැර පැමිණි බවත් කොවිෂීල්ඩ් එන්නත ඉන්දියාවෙන් පිට වෙනත් ස්ථානයක නිපදවීමට තමන් පියවර ගන්නා බවත්ය.

ඒ අනුව අපට කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාවක් ලබා ගැනීම පිළිබඳ බලාපොරොත්තුවක් තබා ගත නොහැක.

මේ නිසා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා දුන් පිරිසට දෙවන මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත.

මේ සම්බන්ධව පරීක්ෂණ ක්‍රියාත්මක බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර ඇති අතර නමුත් තවමත් ස්ථාවරය පවතින්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා දුන් පිරිසට එම එන්නතම දෙවන මාත්‍රාව ලෙස ලබා දිය යුතුය යන්න බවද ඇය අවධාරණය කර සිටියි.

-ශානි-

Social Sharing
නවතම