කොවිඩ් ප්‍රභේද ගැන පර්යේෂණයක් කෙරෙන්නේ නැහැ, තිබු පර්යේෂණත්  අත්හිටුවලා – රවී කුමුදේශ්

අප්‍රේල් මුල් සති දෙකේ කොරෝනා පාලනය වී ඇතැයි පවසා අප්‍රේල් මස අන්තිම සති දෙකේදී අවදානම් තත්වයක් පෙන්වන්නේ මැයි දිනය ඉලක්ක කර ගනිමින්ද යන්න බරපතල සැකයක් මතුව තිබෙන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

මේ වන විට කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසියේ කලබලයට පත්ව ඇති ස්භාවයක් පෙනෙන්නට තිබෙන බව ඔහු පවසයි.

විශේෂයෙන්ම මාර්තු මාසය හා අප්‍රේල් මාසයේ මුල් සති දෙක තුල PCR පරීක්ෂණ ප්‍රමාණය අඩු වීම සම්බන්ධයෙන් අප අවස්ථා ගණනාවකදී විමසා සිටි නමුත් ඔවුන් නිහඩව සිටි බවත් අවසානයේ PCR පරීක්ෂණ නොකරම සිට ඒ හේතුවෙන් වාර්තා වන රෝගීන් අවම වීම හේතුකොට ගෙන කෘතිම කොරෝනා පාලනයක් මවා පෑ බවද ඔහු කියා සිටියි.

මේ නිසා රටේ කොරෝනා පිලිබඳ තිබු අවධානය ගිලිහී ගිය බවත් එසේම රටේ මහජනතාව මෙය වැරදියට වටහා ගනිමින් අවුරුදු සමය තුල සීඝ්‍ර ලෙස රෝගය පැතිරී යන අයුරින් හැසිරීමට හේතු වු බවද රවී කුමුදේශ් මහතා පෙන්වා දෙයි.

අප්‍රේල් මුල් සති දෙක තුල සෞඛ්‍ය අමාත්‍යාංශය කොරෝනා පාලනය වී ඇතැයි කියද්දි ඒ සිදු කරන PCR පරීක්ෂණ ප්‍රමාණය ප්‍රමාණවත් කියා කියද්දී, රටේ අවුරුදු කෑම සඳහා සම්පුර්ණ නිදහසක් ලබා දෙද්දී  අප්‍රේල් මස අන්තිම සති දෙක තුල පමණක් මෙලෙස කොවිඩ් ගැටලුවක් නිර්මානය වන්නේ මැයි දිනය ඉලක්ක කරගෙන දෝ යන සැකය මතු වන බව ඔහු කියයි.

අප්‍රෙල් මාසය වනතුරුම සෞඛ්‍ය අමාත්‍යාංශය මේ රෝගය සමාජ ගත නොවු රෝගයක් ලෙස හඳුනා ගත් අතර ඒ සියලු පරීක්ෂණ සිදු කළේ රෝගීන් ලෙස රෝහල් වලට පැමිණෙන අයට පමණක් බව පවසන ඔහු පෙන්වා දෙන්නේ සතියක සති දෙකක කාලය තුල මෙය එක්වරම සමාජගත වීම සම්බන්ධයෙන් කිසිදු විද්‍යාත්මක පැහැදිලි කිරීමක් අදාල බලධාරීන්ගෙන් සිදුව නොමැති බවය.

මේ අතර සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන අයුරින් මෙය නව ප්‍රභේදයක් වන අතර තරුණයින් අතර වැඩි වශයෙන් ව්‍යාප්ත වන බවත් මේ පිලිබඳ පර්යේෂණයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් සිදු කෙරේ. නමුත් මෙහි සෑම දෙයක්ම සත්‍ය නොවන බවත් ජපුර සරසවියෙන් මුල් අවස්ථාවේ පර්යේෂණයක් සිදු කිරීමෙන් පසු නැවත පර්යේෂණයක් සිදු කර නොමැති බව පවසන රවී කුමුදේශ් මහතා පවසන්නේ එසේ සිදු කරන ලෙස ඉල්ලීමක් දකින්නට නොලැබුණ බවත් කොවිඩ් ප්‍රභේද ගැන සෙවීමට තිබු සියලු පරීක්ෂණ අත්හිටුවා තිබු බවත්ය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු රසායනාගාරයක කොවිඩ් ප්‍රභේද හඳුනා ගැනීමේ යන්ත්‍ර නැතැයිද ඒවා මිලදී ගන්නා ලෙස පැවසු විට ඒවා අවශ්‍ය නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පවසන තත්ත්වයක සිටි බවත් අද වන විට විට අවම මට්ටමේ PCR පරීක්ෂණ කට්ටල ගෙන්වා දෙන ලෙස ඉල්ලු විට ඒ ගැනවත් උනන්දුවක් නොකර ප්‍රභේද පැතිරීම ගැන තමන්ගේ පෞද්ගලික මතවාදයක් මෙලෙස ප්‍රකාශ කිරීම රෝගය පිලිබඳ වැරදි අදහසක් රට තුලට කාන්දු වීමට ඉඩ ඇතැයි ද හෙතෙම පවසයි.

සමාජගත වු වසංගතයක් එය පාලනයෙන් ගිලිහී යාමට ඉඩහැර ඇති අවස්ථාවක නැවත රෝගය උත්ස්සන්න වීම තුල නැවත වරක් මුලට ගොස් රෝගය පාලනය කිරීමට සිදුව ඇතැයිද අවධාරණය කරන රවී කුමුදේශ් මහතා පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමාද වී තීන්දු ගැනීමත්, නිසි වෙලාවට නිසි තීන්දු නොගැනීමත්, තීන්දු ගැනීමේදි සියලු පාර්ශවයන්ගේ හඬට කන් නොදීමත් නිසා මේ රෝගය පාලනය කිරීමට නම් විද්‍යාත්මක භාවිතාවක් අවශ්‍ය බවය. එසේම වෛද්‍ය පර්යේෂණ ආයතනය අද සුදු අලියෙක් බවට පත්ව ඇතැයිද ඔහු චෝදනා කර සිටියි.

මේ අවස්ථාවේ පරික්ෂණ ප්‍රමාණය වැඩි කිරීමට වඩා සිදු කරන පරීක්ෂණ ප්‍රමාණය හෝ ක්‍රමානුකූලව සිදු කරමින් ප්‍රමාණය වැඩි කිරීමේ ක්‍රියාවලියක් සැකසිය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.

 

-ශානි-

Social Sharing
නවතම