කැරොලයින්ගේ ලෝක රූ රැජිණ කිරුල ගැලවෙයිද?

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟාවලියේදී ජයග්‍රාහිකාවට අපහාස වන අයුරින් හැසිරුනු  ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජුරි සහ නිරූපිකාවක් වන චුලා පද්මෙන්ද්‍ර කුරුඳුවත්ත පොලිසිය විසින් අද (08) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

පහුගිය 04 දා කොළඹ නෙලුම් පොකුණ රඟහලේ පැවති ශ ලංකා විවාහක රූ රැජිණ තරඟාවලියේදී ජයග්‍රාහිකාව වුයේ පුෂ්පිකා ද සිල්වාය. මෙම තරගයේ ‘ජාතික අධ්‍යක්ෂ’ වන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහය. මාස තුනක් පුරා පැවති තරඟය අවසානයේ ජයග්‍රාහිකාව නම් කර කිරුල පැලැන්දුවේ 2020 ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ද ජුරීය.

ආරාධිතයින් වේදිකාවෙන් පිටව ගිය පසු කැරොලයින් වේදිකාවට නැඟ පුෂ්පිකා දික්කසාද තැනැත්තියක් බවත් ඇයට කිරුල හිමි නැති බවත් පවසා දෙවැනි තැනට තේරී පත් වු අයේෂා බස්නායකට කැරොලයින් කිරුල පැළඳුවේ පුෂ්පිකාගේ හිසේ තිබු කිරුල බලහත්කාරයෙන් ගලවා ගමිනි. මෙහිදී ඇයට ඊට සහාය වුයේ චූලා පත්මේන්ද්‍රන්ය. ඔවුන් අයේෂාට කිරුල පළන්ඳවා වේදිකාවේ ප්‍රිතී වූයේ බලන් සිටිනවුවන්ට අප්‍රසාදය දනවන අයුරිනි.

පුෂ්පිකාගේ කිරුල අහිමි වීම පිලිබඳ සමාජයේ දැඩි ආන්දෝලනයක් ඇති වු අතර ඇය ඒ පිලිබඳව කුරුඳුවත්ත පොලිසියටද පැමිණිලි කර සිටියාය.

ඒ අනුව මෙම සිද්ධියට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා කැරොලයින් ජුරි සහ චුලා පද්මෙන්ද්‍ර  හට අද දිනයේදී කුරුඳුවත්ත පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි. ඒ අනුව ඔවුන් පොලිසියට පැමිණ සිටියදී ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ අතර තරඟාවලියේ සංවිධායක මණ්ඩලය විසින් පුෂ්පිකාට නැවත වරක් කිරුල ලබා දීමට පියවර ගෙන තිබුණි.

එමෙන්ම කැරොලයින් ජූරී සම්බන්ධව සියලු දෙනාගේ අප්‍රසාදය යොමු වෙද්දී ලෝක රූ රැජිණ සංවිධානයෙන්ද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ කැරොලයින් ජූරිගේ හැසිරීම් මවිතය දනවන්නක් බවත් කැරොලයින් එම තරඟයේ රෙගුලාසි උල්ලංඝනය කර ඇති බව පෙනෙන්නට තිබෙන බවත් ඒ ගැන විමර්ශනය කරන බවත් ඔවුන් දන්වමින්ය. එමෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් කැරොලින් ජූරිගෙන් නිදහසට කරුණු විමසීමක් සිදු කරන බව ද සඳහන්ය. ඒ අනුව ඇතැම් විට කැරොලයින්ගේ කිරුල පවා අහිමි වීමේ හැකියාවක් ඇති බව මෙරට තරඟ සංවිධායකයින් පෙන්වා දී සිටියි.

රෝසි සේනානායක මහත්මිය 1984 දී ලෝක විවාහක රූ රැජින තරගය ජයග්‍රහණය කර 35 වසරකට පසුව කැරොලයින් ජූරි නැවතත් එම කිරුළ ශ්‍රී ලංකාවට අත්පත් කර දීමට සමත් විය. කැරොලයින්ගේ පෞද්ගලික පුහුණුකාරිය වූයේ චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණය. කොරෝනා වෛරසය පැතිර යාමත් සමග 2020 දී  ලෝක විවාහක රූ රැජිණ තරඟ නොපැවැත්වීම හේතුවෙන් එම වසර තුළ ද ලෝක විවාහක රූ රැජින ලෙස සිටියේ කැරොලයින් ජූරිමය.

කැරොලයින් ලෝක විවාහක රූ රැජිණිය ලෙස තේරී පත් වන විට 27 හැවිරිදි එක් දරු මවක් විය.

-ශානි-

Social Sharing
නවතම