ගම්පහ ටියුෂන් කලින්ම පටන් අරන්!

බස්නාහිර පළාතේ උපකාරක පන්ති අප්‍රේල් මස 12 වන දිනයෙන් පසුව ආරම්භ කිරීමට අනුමැතිය ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ  (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණි.

උපකාරක පන්ති ආරම්භ කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ජනවාරි මස 21 වන දින නිකුත් කර ඇති බව ද අමාත්‍යවරයා එහිදි  ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව පාසල් ආරම්භ වී සති දෙකකට පසුව උපකාරක පන්ති ආරම්භ කළ හැකි බව එහි සඳහන් බවත්, පන්තියක සිසුන් සංඛ්‍යාව වරකට උපරිම වශයෙන් 100දෙනෙකුට සීමාවිය යුතු බවද,  සෑම විටම ආසනයක දුර මීටරයක් පවත්වා ගත යුතු බවත්, ආසන පහසුකම් 100ට වඩා අඩුවන අවස්ථාවලදී සිසුන් සංඛ්‍යාව මුළු ආසන ධාරිතාවයෙන් සියයට 50ක් නොඉක්මවිය යුතු බවද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

නමුත් ගම්පහ දිස්ත්‍රික්කයේ උපකාරක පන්ති මේ වන විටත් ආරම්භ කර ඇති බව අමාත්‍යවරිය නොදන්නවා විය හැකිය. මේ වන විටත් ගම්පහ නගරයේ උපකාරක පන්ති කිහිපයක්ම ආරම්භ කර ඇති අතර ඒවා උදේ සිට සවස්වනතුරු පැවැත්වේ.

බස්නාහිර උපකාරක පන්ති නැවතී දැන් වසරකට ආසන්නය. ඒ කාලය තුල දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීමට ගුරුවරුන් ක්‍රියා කළ අතර නමුත් ඒ සඳහා පන්තියට පැමිණ දරුවන්ට හෝ දෙමාපියන්ට ඔහුගේ ටියුටය රැගෙන යා යුතු විය. එසේ නොමැතිනම් කණ්ඩායමට ඇතුල් විය නොහැක.

එමෙන්ම කොවිඩ් කියා දරුවන්ගේ මාසික මුදල් ලබා ගැනීම නැවතුනේද නැත. ඒවාද නියමිත වේලාවට ලබා ගැනුණි. ජනවාරි මාසයේ සිටම ගම්පහ නගරයේ උපකාරක පන්ති පැවැත්වීම යළි ආරම්භ කිරිම කෙරෙහි විවිධ සාකච්ඡා පැවතියද ඊට අවස්ථාවක් ලැබුණේ නැත.

නමුත් සියලුම පාසල් පහුගිය මාර් තු 29 දා ආරම්භ වීමත් සමඟ දැන් උපකාරක පන්ති ආරම්භ කර ඇත. ඒ අනුව අප්‍රේල් 12 න් පසුව ආයේ අමුතුවෙන් පටන් ගැනීමට දෙයක් නොමැත.

-ශානි-

Social Sharing
නවතම