මාස තුනට ඇඟලුම් ක්ෂේත්‍රයේ ඇ.ඩො. මි. 24 ක් සේවකයින්ට අහිමියි! –  ඇන්ටන් මාක්ස්

කොවිඩ් වසංගතය මුවාවෙන් ඇඟලුම් කර්මාන්තයේ සේවකයින් රැසකගේ අයිතිවාසිකම් කප්පාදු කරමින්, ඇඟලුම් සන්නාමයන් අඛණ්ඩ ලාභ ලබමින් සිටින බවට නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය පවසා සිටියි.

මෙම සංගමයේ සම ලේකම් ඇන්ටන් මාක්ස් මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියි.

එම සංගමය පෙන්වා දෙන්නේ 2020 පෙබරවාරි මාසය වන විට ශ්‍රී ලංකාවේ අපනයන ඇඟලුම් හා පාවහන් කර්මාන්ත වෙනුවෙන් අවම වශයෙන් කම්කරුවන් 27,5000 ක් සේවයේ යොදවා සිටි අතර ඔවුන් රටේ මුලු අපනයන වලින් 40% ක් නියෝජනය කළ බවය.

කොවිඩ් වසංගතය හමුවේ මෙහිදී 2020 මාර්තු, අප්‍රේල්, මැයි  මාස වලදී ඇඟලුම් කර්මාන්ත සේවකයින්ට ඔවුන්ගේ සාමාන්‍ය වැටුපෙන් දල වශයෙන් 40% ක් අහිමි වී ඇති බවත් එය ඇමරිකන් ඩොලර් මිලියන 24 කට සමාන බවත් පෙන්වා දෙන නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සංගමය පවසන්නේ මේ නිසා  55,000 කට පමණ රැකියා අහිමි වී ඇති බව පිරිසිදු ඇඟලුම් ව්‍යාපාරය විසින් තක්සේරු කර ඇති බවය.

කම්කරුවන්ගේ අයිතිවාසිකම් හා ආරක්ෂාව තිබිය යුතු අවස්ථාවක කර්මාන්තශාලා හිමියන් කටයුතු නොකිරීම නිසා මේ වන විට ඔවුන්ගේ ගැටලු ජාත්‍යන්තරයට ගෙන යාමට සිදුව ඇතැයි පෙන්වා දෙන මෙම සංගමය අවධාරණය කර සිටින්නේ වෙළද නාමයන් සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සේවක නියෝජිතයින් සමඟ වහා සාකච්ඡාවක් ආරම්භ කළ යුතු බවය.

නිදසුනක් ලෙස මේ වන විට කටුනායක බ්‍රාටෙක්ස් ආයතනයේ සේවක සේවිකාවන් විසින් විරෝධතාවයක් දියත් කර ඇති අතර ඊට හේතු වී ඇත්තේ අවුරුදු දීමනාය. කර්මාන්තශාලා හිමියන් කෙසේ හෝ තවමත් උත්සහ කරන්නේ අවම සේවක සංඛ්‍යාවකින් තම නිෂ්පාද ක්‍රියාවලිය කරගෙන යාමටය.

-ශානි-

Social Sharing
නවතම