ආයුර්වේදයේ මුවාවෙන් එන කුරුඳු සිගරට් උගුල – ADIC Sri Lanka

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පහුගියදා කුරුඳු සිගරට්ටුවක් මුවේ තබාගෙන සිටින ඡායාරූපයක් මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. ඒ සෞඛ්‍යට හිතකර යැයි පවසමින් කුරුඳු සිගරට්ටුවක් එළි දැක්වීමේ අවස්ථාවේදීය. අමාත්‍යවරයාගේ මේ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජයේ බොහෝ දෙනෙකු විවේචනය කර සිටියහ. නමුත් අද වෙන තුරු මේ කුරුඳු සිගරුට්ටුව සම්බන්ධයෙන් කිසිඳු පියවරක් ගත් බවක් පෙනෙන්නට නැත.

ලොව පුරා සිගරට් සමාගම් දුම්බීමේ  පුරුද්ද දිගින් දිගටම පවත්වාගෙන යාමට විවිධ උපායන් අනුගමනය කරයි. ඒ අතර නිකොටින් රහිත වෙනත් දුම්පාන වෙළඳපලට  ඉදිරිපත් කිරීම ඉන් ප්‍රධාන එකකි.  ශ්‍රී ලංකාව තුළ ද කුරුඳු සිගරට් හඳුන්වාදීම එවැනි උපායක් වන අතර එයට ප්‍රධානතම හේතුව දුම්බීම ශ්‍රී ලංකාව තුළ තුල සීග්‍රයෙන් අඩු වීම බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

කුරුඳු සිගරට් වලට මුවාවී රිසිසේ එම ප්‍රචාරක කටයුතු කරගෙන යාමට මග සලසා ගැනීම දුම්කොළ සමාගම් වලද ආශීර්වාදය සහිතව සිදු වන්නකි. සමාජයේ අප්‍රසාදයට හා පිළිකුලට භාජනය වී ඇති සිගරට් බීම සාමාන්‍යකරණය කර සමාජගත කිරීම මෙම ව්‍යාපාරවල සැඟවුණු අරමුණු විය හැකිය.

ඇඩික් මධ්‍යස්ථානය (Alcohol and Drug Information Centre – ADIC) පවසන ආකරයට ආයුර්වේද නමින් ඉදිරිපත් කරන සියලුම දුම් පානයන්ගේ නිකොටින් රසායනය නොමැති වුවද  අනෙකුත් සියලු හානිකර ද්‍රව්‍ය අඩංගු බවත් ඒ තුළින් ප්‍රබල සෞඛ්‍ය ප්‍රශ්න ඇති වන බවත් සනාථ වී තිබේ. කුරුඳු සිගරට් වල ද තාර, කාබන් මොනොක්සයිඩ්, ඇරෝමැටික් ඇමයින් සහ තවත් පළමු කාණ්ඩයේ  පිළිකා කාරක අඩංගු බව එවැනි දුම්වැටි නිපදවන රටවල කරන ලද විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු වී තිබේ. ආයුර්වේද දූම පානය තුළ සහතික ලත් වෛද්‍යවරයෙක් විසින් අදාළ රෝගියාට නිශ්චිත මාත්‍රාවකින් නියමිත කාල සීමාවක් සඳහා නියම කරනු නොලබන දූම පානයක් රෝගාබාධ යක්  නැති සාමාන්‍ය පුද්ගලයෙකු දිගින් දිගටම සිදු කිරීම කිසිසේත් අනුමත කර නැත.

කුරුඳු සිගරට් කර්මාන්තයක් ලෙස ප්‍රචලිත කිරීමට පෙර එම දුම්වැටි භාවිතය සෞඛ්‍යයට බලපාන අන්දම පිළිබඳ සායනික පර්යේෂණ ඉදිරිපත් කළ යුතු නමුත්, කුරුඳු සිගරට් ප්‍රචාරය කරන්නන් මේ වන තෙක් කුරුඳු සිගරට් සෞඛ්‍යයට හිතකර බවට එවැනි පර්යේෂණාත්මක තහවුරු කිරීම් ඉදිරිපත් කර නැත. මිනිසාගේ පෙනහළු සකස් වී ඇත්තේ පරිසරයේ ඇති සාමාන්‍ය වාතය ඇතුලට ගැනීමටය. එබැවින් ඕනෑම වර්ගයක දුමක් පෙනහැල්ලට ඇතුළු කිරීම ප්‍රබල සෞඛ්‍ය හානි ඇති කරන බව ඒ පිළිබඳ විශේෂඥයින් පෙන්වා දී තිබෙන බවද ඇඩික් මධ්‍යස්ථානය පවසයි.

ලොව පුරා දුම්කොළ සමාගම් කංසා භාවිතය දුම්වැටි ආශ්‍රයෙන් ප්‍රචලිත කිරීමට දැනටමත් වැඩ කටයුතු කරගෙන යන අතර මේ වන විට ප්‍රබල දුම්කොළ සමාගම් වානිජ මට්ටමේ කංසා වගාවන්ගෙන් වැඩි කොටසක් මිලදී ගෙන ඇති අතර ඒවා ද ප්‍රචලිත කරමින් පවතින්නේ ඖෂධීය හෝ ආයුර්වේද යන වචන වැරදි ලෙස යොදා ගනිමින් ඇත.

හඳුන්වා දී ඇති කුරුඳු සිගරට්ටුවෙන් පසුව ගංජා සිගරට්ටුවක් ද මේ ආකාරයෙන් ම රට තුල ප්‍රචලිත කිරීමට බෙහෙවින්ම ඉඩකඩ තිබෙන බව පවසන ඇඩික් මධ්‍යස්ථානය  රජයට අවධාරණය කර සිටින්නේ තරුණ පරපුර සීඝ්‍රයෙන් දුම්බීමේ බොල් පුරුද්දට හසු නොවන මෙවන් වකවානුවක ආයුර්වේදයේ මුවාවෙන් එන මෙම උගුලෙන් රට බේරා ගැනීම සඳහා රජය ඇතුළු සියලු වගකිව යුතු පාර්ශවයන් ඉක්මනින් පියවර ගත යුතු බවය.

-ශානි-

Social Sharing
නවතම