නව පළාත් පාලන ඡන්ද ක්‍රමයක් ගැන අදහස් හා යෝජනා කැඳවීම දීර්ඝ කරන්න – ෆැපරල්

නව පළාත් පාලන ඡන්ද විමසීම් ක්‍රමයක් සඳහා අදහස් හා යෝජනා ලබා දීමේ කාල සීමාව දීර්ඝ කරන ලෙස ෆැපරල් සංවිධානය විසින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත ලිපියක් යවා ඇත.

ෆැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුක්තව යවා ඇති මෙම ලිපියේ සඳහන් කර ඇත්තේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් 2017 අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත මගින් සංශෝධිත 262 අධිකාරය වූ පළාත් පාලන ඡන්ද විමසීම් ආඥාපනත යටතේ හඳුන්වා දෙන ලද මිශ්‍ර සාමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය සමාලෝචනය කර නව මැතිවරණ ක්‍රමයක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිළිබඳව කමිටුවක් පත් කර අදහස් හා යෝජනා ලබාදීම සඳහා 2021 මාර්තු 15 වන දින දක්වා අවකාශය ලබා දී තිබු බවය.

ෆැපරල් සංවිධානය විසින් පළාත් පාලන ආයතන වල ක්‍රියාකාරීත්වය සඳහා ඍජුව හා වක්‍රාකාරව සම්බන්ධ වන විවිධ පාර්ශවයන් සමග මේ දින වල සාකච්ඡා මාලාවක් පවත්වමින් සිටින බවත් එම සාකච්ඡා වලදී මතු වන නව මැතිවරණ ක්‍රමයක් සඳහා වන යෝජනා අදාල කමිටුව වෙත ලබා දීමට අපේක්ෂා කරන බවද එහි කියා ඇත.

ඒ අනුව මේ පිලිබඳ අවධානය යොමු කර 2021 මාර්තු මස 31 වන දින දක්වා නව පළාත් පාලන ඡන්ද විමසීම් ක්‍රමයක් සඳහා අදහස් හා යෝජනා ලබා දීමේ කාල සීමාව දීර්ඝ කරන ලෙස වැඩිදුරටත් මෙම ලිපියෙන් ඉල්ලා ඇත.

-ශානි-

Social Sharing
නවතම පින්තූර ගැලරිය