මානව හිමිකම් මහකොමසාරිස්වරිය යම් බලපෑමකට යටත් වෙලා!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේ මාර්තු මස 19 වනදා ඉදිරිපත් කරන්න තිබ්බ කරුණු ද ටැමිල් ගාඩියන් වෙබ් අඩවියේ මේ වෙනකොට තියනවා. ඒවා එළියට ගියා කියන එක පිළිබදව ලොකු ගැටළුවක් තියනවා. මහ කොමසාරිස්වරිය යම් බලපෑමකට යටවෙලා. එමෙත් නැත්නම් අත්භූත බලවේගයකට නතුවෙලා එහෙමත් නැත්නම් දෙමළ ඩයස්පෝරාව විසින් මේ තත්වයට පත්කරලා තියනවා යැයි හෙළ රණවිරු බලමුළුවේ සංවිධායක හා නාමල් තිලකරත්න පදනමේ නිර්මාතෘ විශ්‍රාමික ලුතිනන් කර්නල් නාමල් තිලකරත්න මහතා පැවසුවේය.

මේ මස 22දා සිට මාර්තු මස 19දා දක්වා පැවත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂමේ 46 වැන සැසිවාරයට පෙර  එහි මහ කොමසාරිස්වරිය වන මිචෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාවට එල්ල කර තිබෙන මානව හිමිකම් චෝදනා රැසකට ප්‍රතිචාර දැක්වීම සදහා සංවිධානය කළ මාධ්‍ය හමුවකදි ලුතිනන් කර්නල් නාමල් මහතා ඒ බව පැවසුවේය.

අනුරාධපුර අටමස්ථාන පුදබිමේ පිහිටි මිරිසවැටිය රජමහා විහාරයේ විහාරාධිපති හා රජරට විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය ඊතල්වැටුණුවැව ඥාණතිලක නාහිමිපානන් හා සම්බුද්ධත්ව ජයන්ති විහාරයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නාමිහිපාන්ගේ අනුශාෂනාව පරිදි අන්‍යාගමික පූජකතුමන්ලා පිරිසකගේ ප්‍රධානත්වයෙන් මිරිසවැටිය රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී මාධ්‍ය හමුව පැවත්වුණි.

එහිදී වැඩිදුරටත් කථා කළ යුද සමයේ 58 වැනි සේනාංකයට අනියුත්තව අටවන ගජබා රෙජිමේන්තු කණ්ඩායමේ දෙවන අණ දෙන නිලධාරිවරයා වශයෙන් කටයුතු කළ රණවිරු ලුතිනන් කර්නල් නාමල් තිලකරත්න මහතා.

මානව හිමිකම් කොමිෂමේ කොමසාරිස්වරිය වන මිචෙල් බැචලේ මහත්මිය පිටු 17ක කරුණු 11 සහිත වාර්ථාවක් එවලා තියෙනවා.

එහි සියළුම කරුණු පදනම් විරහිත සාවද්‍ය චෝදනාවන්.ඒ කරුණු අපේ රජය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා තියනවා.ඒ කරුණු දෙමළ ඩයස්පෝරාවට එහෙමත් නැත්නම් NGO මුදල් වලට යැපෙන පිරිසකගේ උවමනාවට නගපු චෝදනා කියලා හොදටම පැහැදිලි වෙලා තියනවා.

විශේෂයෙන්ම යුද අපරාධ කියන්නේ මොනවද? යුද අපරාධ කියන්නේ සමූල ඝාතන එක් එක්  පිරිස් ඉන්නා තැන්වලින් ඉවත් කිරීම. මහ පරිමාන ලෙස අයිතිවාසිකම් නැති කිරීම ස්ත්‍රී දූෂණ සිදුකිරීම් ළමා සොල්දාදුවන් සේවයේ යෙදවිම ආහාර ජලය වැනි දෙවල් මහ පරිමාණයෙන් වැලක්වීම.

ඒවා තමයි යුද අපරාධ කියන්නේ. එතකොට කවුද මේ යුද අපරාධ සිද්ධ කළේ. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව කිසිම අවස්ථාවක මේ වැරදි කරේ නෑ.නමුත් ලෝකයේ දරුණුම ත්‍රස්ත සංවිධානයවූ LTTE ත්‍රස්ත සංවිධානය මේ සේරම අපරාධයන් කළා.

එහෙම තියන අවධියක මේ මිචෙල් බැචලේ කියන මහ කොමසාරිස්වරිය 22 වනදා පටන් අරගෙන මාර්තු19 වනදා අවසන් වන සැසිවාරයේ වාර්ථාව ඉදිරිපත් කරන්න අවස්ථාවේ දරුණු ඝණයේ තීන්දු තුනක් අරගෙන තියනවා. ඒ තීන්දු තමයි යුදහමුදා නිලධාරීන්ට පිටරටවල විදේශීය වත්කම් තියනවා නම් ඒවා වහාම අත්හිටුවීම.

ඊට පස්සේ දෙවන යෝජනාව තමයි යුද හමුදා නිලධාරින්ට විදේශ ගතවීම් තහනම් කිරීම. එහිදී හිටපු යුද හමුදාපති වර්ථමාන පාර්ළිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට වගේම වර්ථමාන යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා ඇතුළු පවුලේ සැමට මේ තත්වයට මුහුණ දෙන්න වෙනවා.

තුන්වන කරුණ තමයි යුද අපරාධ අපි කරලා තියනවලු. සාක්ෂි තියනවලු ගුණාත්මකයිලු කිසි සැකයක් නැහැලු. අන්න ඒ කරුණු වලට අනුව අපේ හමුදා නිලධාරින් හේක් නුවර තියෙන යුද අපරාධ අධිකරණයට ඉදිරිපත් කරලා එමගින් දඩුවම් කරන්න කියලා. පහුගිය ආණ්ඩුවක 30 (1) කියන වගන්තියත් එක්ක අපි නොවිච්ච දෙයක්.

මංගල ඇමතිතුමාල අත උස්සලා ඒකත් ඡන්දයෙන් කැමත්ත ප්‍රකාශ කරපුදේ මේ අය කරන්න තීරණය කරලා තියනවා. මෙතන තියන බරපතලම සිද්ධිය මේක නෙමෙයි මහ කොමසාරිස්තුමිය මාර්තු මස 19 වෙනිදා කරන්න ඕන ප්‍රකාශය ටැමිල් ගාඩියන් වෙබ් අඩවියේ අද වෙනකොට තියනවා.

අන්න එතනයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. මේ කොමසාරිස්වරිය කියන්නේ නිකම්ම නිකම් තනතුරක් ගත්ත පුද්ගලයෙකු නෙමෙයි. මෙතුමිය හොද අධ්‍යාපනයක් ලබපු ලොකු දේශපාල අතීතයක් තියන චිලී රාජයේ හිටපු සෞඛය ඇමතිවරිය හිටපු ආරක්ෂක ඇමතිවරිය හා දෙවතාවක් ලොකු ඡන්ද ප්‍රතිශතයකින් ජනාධිපති වෙච්ච කෙනෙක්.

එහෙම ආපු කනෙක් අතින් ලබන මාසේ ඉදිරිපත් කරන්න තිබ්බ කරුණු දැන්ම එළියට ගියා කියන එක පිළිබදව ලොකු ගැටළුවක් තියනවා. ඇය යම් බලපෑමකට යටවෙලා. එමෙත් නැත්නම් අත්භූත බලවේගයකට නතුවෙලා එහෙමත් නැත්නම් දෙමළ ඩයස්පෝරාව විසින් මේ තත්වයට පත්කරලා.

මේ යුද්ධයෙදි අපිට අපේ වටිනා නායකයෙකුවූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අහිමිවෙනවා. ඉන්දියාවේ රජිව් ගාන්ධි මැතිතුමා. ඒවගේ ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා අහිමිවුනා. එකි මෙකී නොකි විශාල පිරිසක් අපිට අහිමිවෙනවා. LTTE ත්‍රස්තවාදින් තමයි සියළුම ජන සංහාරයන් සිදුකළේ.

අපි යුද්ධ කළේ ත්‍රස්තවාදය එක්ක. අපි කිසිම වෙලාවක දෙමළ ජනතාව සමග යුද්ධකරේ නෑ. අපි සාමයට අත දිගු කළ සෑම අවස්ථාවකම LTTE ය පිටුපෑවා.1989 සාම ගිවිසුම සමයේ ඔවුන් අපේ නිරායුද පොලිස් නිලධාරින් 600 පොලිම් කරළා මරාදැම්මා. අපි යුද්ධයකට ගියේ නෑ. ඔවුන්මයි අපිව යුද්ධයකට පෙළඹ වූයේ.

අහිංසක ගොවින්ගේ වතුරු ටික නැති කරමින් මාවිල් ආරූ සොරොව්ව වැහුවා. අන්න ඒක අරින්න තමයි අපිට යන්න වුනේ. නමුත් අපිට සුදු වැලි අතුරපු පාරක් තිබ්බේ නෑ  එතන්නට යන්න වුනේ. බිම්බෝම්බ බට්ටෝ පාගගෙන. අපේ සහෝදර සෙබළු ජිවිත අහිමිකරගෙන අබාධිතයන් බවට පත්වෙමින් තමයි මේ තත්වයට ආවේ.

ඇමරිකාවේ FBI එක 2008 කියනවා ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය LTTE එක කියලා. අන්න ඒ ත්‍රස්ත සංවිධානය එක්ක තමයි අපි සටන් කළේ. ඒ සංවිධානය මරාගෙන මැරෙන බෝම්බ කට්ටල ඇදුම් නිර්මානය කළා. කාන්තාවන් මරාගෙන මැරෙන තත්වයට මානසිකව පත්කල ළමා සොල්දාදුවන් දහස් ගණනක් සමාජයට බිහිකළා. එහෙම අවස්ථාවක තමයි අපි වන්නි මානුෂිය මෙහෙයුම කළේ.

ප්‍රාන ඇපකරුවන් බේරාගැනිමේ ලෝකයේ ලොකුම සටන කරන්නේ ශ්‍රී ලංකා යුද්ද හමුදාව මට ඒ ගැන කථා කරන්න අයිතියක් තියනවා. මොකද මම ඒ වෙනකොට 58 සේනාංකය යටතේ අටවන ගජාබා රෙජිමේන්තු කණ්ඩායමේ දෙවන අණදෙන නිලධාරියා වශයෙන් පුදුමාතලන් සිට පැමිණි අය ඉදුරා බාරගන්න තිබ්බේ මට.

තාත්තා එනවා දරුවා අරගෙන. දරුවට වයස අවුරුදු 1/12යි. දරුවා නැති වෙළා. අපි අහන ප්‍රශ්න වලට ඔහුගෙන් උත්තර නෑ .ආපු දරුවන්ට කෑම නෑ හාමතේ. අපේ බිස්කට් පැකට් එකත් අපි කන්නා දුන්නා. අපි ජනතාව බේරගද්දි පුදුමාතලන් කෙළවරේ ඉදන් කාලතුවක්කු ප්‍රහාර එල්ල කරනවා.

මහින්ද රාජපක්ෂ රජය යටතේ අපි මානව හිමිකම් ලියකිවිල්ල හා තුවක්කුව අතේ තියාගෙන යුද්ධ කළේ. අපි 2008 මානව හිමිකම් රකින්න පොරෝන්දු වෙලා ලියවිල වලට අත්සන් කළා. අපි කිසිම අවස්ථාවක මානව හිමිකම් උල්ලංඝණය කළේ නෑ. යුද්ධ කරපු නිලධාරියෙකු හැටියට මම වගකීමෙන් කියනවා .

යුද්ධයෙන් පස්සෙත් අපි මානූෂීය මෙහෙයුමේදි අත්අඩංගුවට පත්වු ත්‍රස්තවාදි සොල්දාදුවන් පුණුරුත්තාපනය කළා. වෙන රටවල් වල වගේ කළේනෑ. අත්අඩංගුවටගත් 12000ක් ත්‍රස්ත සොල්දාදුවන් පුණුරුත්තාපනය කරළා ආපසු බාර දීපු හමුදාවක් අපි. ළමා සොල්දාදුවන් 5000ක් පුණුරුත්තාපනය කරලා කිසිම විනය ක්‍රීයාවක් නීතිමය ක්‍රියාවක් නොගෙන දෙමාපියන්ට බාරදීපු මානුෂිය හමුදාවක්.

2012 වසරෙදි මම වව්නියාව පුන්තෝටම් කදවුරේ පුණුරුත්තාපන නිලධාරියා වෙලා යනවා. කාන්තා පිරිමි දෙගොල්ලක් පුණුරුත්ථාපනය කළා. ඔතනට එනවා කමලනී කියන LTTE කාන්තාව. LTTE කාන්තා දේශපාලන අංශයේ නායිකාව තමයි කමලනී ජෛයිකුමාර් ඇය දරුණු කාන්තාවක්. එතුමියව මම පුණුරුත්ථාපනය කරලා අම්මාට බාරදෙනවා 2013 ජූනි 26 වෙනිදා.

ඇය පසුව පොතක් ලියනවා තියුණු අසිපතයට සෙවන කියළා. ඒ පොත ප්‍රසිද්ධයි. ඇය පුණුරුත්ථාපනය වෙලා යනවා. යන කොට යන්නේ සම වයසේ හිටපු මට දණගහල වැඳලා. සිංහල වචනයක්වත් බැරුව හිටියේ නමුත් ඇය හොදින් සිංහළ ඉගෙන ගෙන එළියට ගියේ. යනකොට කියනවා සර්ලා වගේ මිනිස්සු මේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉන්නේ කියලා එදා දැනගත්ත නම් අපි කවදාවත් වෙපන් එකක් අතට ගන්නෑ කියලා.

අපිට ජාතියක් පිළිබදව ප්‍රශ්නයක් තිබ්බේ නෑ. මම අවස්ථා දෙකකදී මගේ නිලධාරින් 200ක් විතර යොමුකරළා වව්නියාව ලේ බැංකුවට ලේ දන්දීමේ කදවුරු පැවත්වූවා. අපි දන්නවා අපි ඒ ලේ දෙන්නේ අපිට ගන්න නෙමෙයි කියලා. ඒ ලේ දන්දුන්නේ දමිළ රෝගීන් වෙනුවෙන්.

මේ විදේශ රටවල් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහත්තයාව කෘෂි ඇමතිව සිටියදී ඝාතනය කරන්න හැදු ත්‍රස්තවාදියව සමාවදීලා මුදාහරිනවා. එතකොට ඒ අය හුරේ දානවා. අපේ යුද හමුදා සෙබළ සුනිල් රත්නායකව ජනාධිපති සමාවෙන් නිදහස් කරද්දි අවලාද නගනවා.

මෙහිදී අනුශාෂනාවන් කළ මිරිසවැටිය රජමහා විහාරාධිපති මහාචාර්ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක නාහිමියන්.

LTTE ත්‍රස්තයන් ජය ශ්‍රී මහ බෝධිය ලේ විලක් කළා. දළදා මාළිගාව බිමට සමතලා කළා. අරන්තලාව භික්ෂූන් ඝාතනය කළා. මඩකලපුවේ මුස්ලිම් බැතිමතුන් ආගමික වතාවත් කරද්දි සමූළ ඝාතනය කළා. කැබිතිගොල්ලෑව බස් බෝම්බය දිගම්පතන බෝම්බ ප්‍රහාරයෙන් සිය දහස් ගණනක් අපේ ජනතාව මරා දැම්මා.

ඇමරිකාවේ ලෝක බැංකු බෝම්බ ප්‍රහාරයේ ජනෙල් වලින් පණින සංවේදී දසුන් වලට පෙර මහ බැංකුවට බෝම්බය තියලා අපිට ඒවා දකින්න සැලස්සුවා. මේ රටේ සියළුම ආගම් එකට එකතුවෙලා සහජීවනයෙන් සතුටින් ජීවත්වෙන කොට ඒක බලන් ඉන්න බැරි පිරිසක් මේ රටට අතදාලා මානව හිමිකම් ප්‍රශ්න දාල රට විනාශ කරන්න හදනවා.

මානව හිමිකම් ගැන කථා කරන ඒ අය අපේ සොල්දාදුවන් විසිනමදහසක් සාමන්‍ය ජනතාව දහස් ගණනක් ඝාතනය කිරීම් ගැන කථා කරනවද?

මහ කොමසාරිස්වරියගේ චෝදනාවන්ට පිළිතුරු දෙමින් අනුශාෂනා කළ නුගේතැන්නේ පඤ්ඤානද්ද නාහිමිපානන්.

එදා අපේ රටේ දරුවෝ ඉපදුනේ බෝම්බ හඩ මැද්දේ. එදා දරුවෝ හම්බවෙන්න හිටපු අම්මලාව මිලේඡ්ච විදියට මරලා කුසේ හිටපු දරු කළල එළියට අරගෙන ට්‍රක්වල රිම්වල ගැහුවා.

බටහිර රටවල් මේ රටේ සිංහල දෙමල මුස්ලිම් බර්ගර් මිනිස්සු එකට සතුටින් ඉන්නවා දකින්න අකමැතියි කියලා හිතෙනවා. අවුරුදු 30ක් LTTE ත්‍රස්තවාදීන් කළ යුද අපරාධ මේ අයට නොපෙනීම තමයි පුදුමේ.

යාපනය සිට මාධ්‍ය හමුවට සහභාගිවූ දේවගැති ඩික්ෂන් පියතුමා.

යුද්දෙන් අපි දෙපාර්ශවයටම ගැටළු ඇතිවුනා. නමුත් දැන් අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. යුද්ධය සමයේ අපි මාසයක් විතර මහන්සි වෙන්න ඕන කොළඹට යන්න. දැන් පැය පහෙන් හයෙන් කොළඹට යනවා.

එදා සොහොන් පිට්ටනියක් වගේ තිබ්බා ප්‍රදේශ අද සංවර්ධනය වෙලා තියනවා. නැවතත් අපිට කිසිදු යුද්ධයක් අවශ්‍ය නෑ. ඒ නිසා අනවශ්‍ය අතපෙවීම් තුලින් මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් කියන ජනතාවට සමගියෙන් සමාදානයෙන් සහ සහජීවනයෙන් ජීවත්වීමට ඇති අයිතියට බාධ එල්ල කරන්න එපා කියලා අපි මානව හිමිකම් ආයතන වලින් ඉල්ලා සිටිනවා.

මෙම අවස්ථාවට අනුරාධපුර කදිරේෂන් කෝවිලේ ප්‍රධාන දේවගැති ඥානචන්ද්‍රන් බාලචන්ද්‍රන් කුරුක්කල්තුමා අනුරාධපුර ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ ප්‍රධාන මවුලවි ඒ.එම් කයූම් සමස්ථ ලංකා දිවිපිදු හා ආබාධිත රණවිරු සංගමයේ සභාපති විශ්‍රාමික බලලත් නිලධාරි දේශබන්දු අනුර වැලිගමගේ මහතා ඇතුළු රණවිරුවන් විශාල පිරිසක් මීට එක්ව සිටියහ.

අනුරාධපුර මහේෂ් විජේසුරිය

Social Sharing
නවතම