මහේස්ත්‍රාත්වරයාට සැකකරුවන් අධීක්ෂණයට අවසර!

යම් මහේස්ත්‍රාත්වරයෙකු පත් කර ඇති අධිකරණ කොට්ඨාශයේ පිහිටි පොලීසියේ පොලිස් අත්අඩංගුවේ රඳවා සිටින සැකකරුවෙකු අධීක්ෂණය කිරීම පිණිස එම පොලිස් ස්ථානයට අවම වශයෙන් මසකට එක්වරක්වත් පැමිණීමට අදාල මහේස්ත්‍රාත්වරයාට බලය පැවරෙන පරිදි 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරිම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස්කර ඇති අතර එකී පනත් කෙටුම්පත  රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රී මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

මීට පෙර මහේස්ත්‍රාත්වරයෙකු අදාල බල ප්‍රදේශයේ පොලිස් ස්ථාන වෙත යනු ලැබුයේ කුමන හෝ සිද්ධියක් වාර්තා වූ විට එහි වැඩිදුර විමර්ශන කටයුතු සඳහාය. (ස්ථානීය පරීක්ෂණ වැනි). නමුත් මෙම සංශෝධනය තුලින් මහේස්ත්‍රාත්වරයාට විමර්ශනය කිරීමට සිද්ධියක් නොමැති වුවද පොලිස් අත්අඩංගුවේ රඳවා සිටින සැකකරුවන් අධික්ෂණය කිරීමට යා හැකිය.

මෙයින් අධිකරණ අමාත්‍යාංශය බලාපොරොත්තු වන්නේ පොලිසිය විසින් සිදුකරන අවිධිමත් නඩු ගොනු කිරීම් වළක්වාලීමය. උදාහරණයක් ලෙස නඩු ගොනු කිරීමේදී වගන්ති දමන්නේ පොලිස් ප්‍රධනියාට පහළ නිලයක් ඇති නිලධාරියෙකි. යම් හෙයකින් ඔහුට අදාල චෝදනාව ගොනු කරන වගන්තිය වැරදුනහොත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරෙන්නේ වැරදි වගන්තියක් මතය. ඒ නිසා මෙවැනි අවිධිමත් ක්‍රියා වැලැක්වීම මෙම සංශෝධනයේ අරමුණක් වේ. එමෙන්ම සැකකරුවන්ගේ තත්ත්වය සොයා බැලීමද මෙහිදී තවත් අරමුණක් බව අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු අයිතිය වෙත පැවසුවේය.

ශානි

Social Sharing
නවතම