“ලෝකයට විද්‍යාව අවශ්‍යයි. විද්‍යාවට කාන්තාවන් අවශ්‍යයි” – එක්සත් ජාතීන්

කොරෝනා වසංගතයෙන් ලෝකය බේරා ගැනීම සඳහා පුරෝගාමී මෙහෙවරක් කර ඇති කාන්තාවන් විද්‍යා ක්ෂේත්‍රයේ රැකියා වලින් කොන් කිරීමට එරෙහිව මැදිහත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීමක් කර තිබේ.

අදට යෙදී ඇති විද්‍යාවේ නිරත කාන්තාවන් හා දැරියන්ගේ ජගත් දිනය නිමිතිකොට “ලෝකයට විද්‍යාව අවශ්‍යයි. විද්‍යාවට කාන්තාවන් අවශ්‍යයි” මැයෙන් එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය විසින් නිකුත් කළ නිවේදනයකින් පෙන්වා දෙන්නේ ගතානුගතික සමාජ සම්මත විසින් විද්‍යා, තාක්ෂණික, ආර්ථික විද්‍යා හා ගණිත (STEM) ක්ෂේත්‍ර වල කාන්තාවන් වෘත්තිකයන් වීම වලක්වා ඇති බවයි.

නිවේදනය මෙසේයි:

“අපගේ අනාගතය සලකුණු වන්නේ විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව මඟින් බව දැනට පවතින වසංගත තත්වය විසින් ඔප්පු කර තිබේ. එම තත්වය සාක්ෂාත් කරගත හැක්කේ කාන්තාවන් හා ගැහැණු ළමයින් විද්‍යාවේ, තාක්ෂණයේ හා නවෝත්පාදනයේ නිර්මාපකයන්, හිමිකරුවන් හා නායකයන් වීමෙනුයි.

කොවිඩ් 19 සම්බන්ධ ප්‍රතිචාර හා සුවපත් වීම දෙසට යොමු වූ අපගේ ගමනෙහිදී ශ්‍රී ලාංකික කාන්තා පර්යේෂිකාවන් වසංගතය නිවාරණය කිරීම සඳහා අවශ්‍ය එන්නත් නිර්මාණය කිරීමේ පුරෝගාමීන් අතර විය. වසංගතය අභිමුව පවා කාන්තාවන් විද්‍යාව වෙනුවෙන් වැදගත් භූමිකාවක් ඉටු කළහ. 2017 තරම් ඈත වකවානුවකදී පවා විද්‍යා, තාක්ෂණික, ආර්ථික විද්‍යා හා ගණිත (STEM) විෂයයන් සඳහා බඳවාගන්නා ලද උපාධි අපේක්ෂකයින් අතරින් අඩක් පමණ කාන්තාවන් විය.

එහෙත්, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ඒකාකෘති ඇතුළු සමාජ සංස්කෘතික සම්මතයන් හේතුවෙන් කාන්තාවන් STEM ක්ෂේත්‍රයේ රැකියාවන්හි නිරතවීම වළක්වනු ලබයි. විද්‍යාවේ ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාව දිනාගැනීම යන කරුණෙන් අදහස් වන්නේ කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට ඕනෑම රැකියාවක් කළ හැකි බව මුලින්ම පිළිගැනීමයි.

විද්‍යාව හා සම්බන්ධ කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ ජාත්‍යන්තර දිනයේදී අපි ඒකාකෘති පරදවමු. සමාජ ආකල්ප වෙනස් කරමු. වෙනස්කම් කිරීම හා අසමානතාව පරාජය කරමු.

මේ සඳහා අප සැමටම කිරීමට භූමිකාවක් තිබේ. අපි විද්‍යාව සමග සම්බන්ධ කාන්තාවන් සහ ගැහැණු ළමයින් වෙනුවෙන් වැඩියෙන් ආයෝජනය කරමු.”

එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය යනු ස්ත්‍රී පුරුෂ සමාජ සාධාරණත්වය හා කාන්තාවන් සවිබලගැන්වීම වෙනුවෙන් කැපවී සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. එය කාන්තාවන් හා ගැහැණු ළමයින් සඳහා වන උද්දේශනයේ ගෝලීය ප්‍රමුඛයෙක්. එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය පිහිටුවනු ලැබුවේ ලොව පුරා ඔවුන්ගේ අවශ්‍යතා සපිරීමේ ප්‍රගතිය වේගවත් කිරීමෙ සඳහායි. වැඩිදුර විස්තර මෙතැනින්: asiapacific.unwomen.org

Social Sharing
නවතම