නිදහස් දිනයේ ජාතික ගීය සිංහලෙන්ම පමණයි!

දෙවැනි රාජපක්ෂ පාලනය යටතේ පැවැත්වෙන දෙවැනි රාජ්‍ය නිදහස් දින සමරු උළෙලේදී ද ජාතික ගීය ගයන්නේ  සිංහලෙන් පමණක් බව රජය ප්‍රකාශයට පත් කර තිබේ.

“ජාතික ගීය ගායනා කරන්නේ සිංහල භාෂාවෙන්. එපමණයි.”

ආරක්ෂක ලේකම් මෙන්ම අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ද වන ජෙනරාල් කමල් ගුණරත්න ඒ බව තහවුරු කළේ මෙවර නිදහස් දිනයේදී ජාතික ගීය භාෂා දෙකෙන්ම ගායනා කරන්නේදැයි පෙබරවාරි 1 සඳුදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගු පැනයට පිළිතුරු දෙමිනි.

2015 වසරේ ජනවාරි 8 දින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස බලයට පත්වීමෙන් පසු එක්සත් ජාතික පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව නිදහස් සැමරුම් උළෙලවලදී දෙමළ භාෂාවෙන් ද ජාතික ගීය ගායනා කිරීමට පියවර ගෙන තිබුනි.

2016 වසරේ සිට 2019 වසර දක්වා අඛණ්ඩව එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වූ නමුත්, 2020 පෙබරවාරි 04 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්   පැවැත්වූ හැත්තෑ දෙවැනි නිදහස් උළෙලේදී ද ජාතික ගීය ගායනා කළේ සිංහල බසින් පමණි.

මෛත්‍රී රනිල් ආණ්ඩුව සමයේ  භාෂා දෙකෙන් ම ජාතික ගීය ගායනා කිරීමට පියවර ගත්තේ “දේශපාලන උවමනාවක් මත,” යැයි  අගමැති මහින්ද රාජපක්ෂ පසුගිය වසරේ නිදහස් දින සැමරුමට පෙර  පවසා තිබුනි.

“දේශපාලන උවමනාව අනුව ඔයාලාගේ ඡන්ද ගන්න ජාතික ගීය දෙමළෙන් කිව්වා. ඒක දේශපාලන උපක්‍රමයක්.”

ශ්‍රී ලංකා ජාතික ගීය නිසි තනුවට අනුකූලව දෙමළ භාෂාවෙන් ගැයීමේ කිසිදු වරදක් නොදකින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක හිමියෝ 2016 වසරේ පෙබරවාරියේදී පවසා තිබුනි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සිංහල සහ දෙමළ යන භාෂා දෙක ම රාජ්‍ය භාෂා ලෙස පිළිගෙන තිබේ.

2016 වසරේ පැවති හැට අට වැනි නිදහස් දින උළෙලේදී පළමු වරට ජාතික ගීය දෙමළ බසින් ගැයීම ව්‍යවස්තානුකුල බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබුනි.

ජාතික ගීය දෙමළ  බසින් ගායනා කිරීම නිසා  සිය මූලික අයිතීවාසිකම්  කඩ වී ඇති බවට තීන්දුවක් දෙන ලෙස  ඉල්ලා කැලණිය ප්‍රදේශවාසීන් පිරිසක් ගොනු  කළ පෙත්සම ප්‍රතික්ෂේප කළ මෙරට  ශ්‍රේෂ්ඨාධිකරණය,  2016 නොවැම්බර් 18 දින ප්‍රකාශයට පත් කර තිබුනේ  ජාතික ගීය දෙමළ  භාෂාවෙන් ගායනා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කිසිදු නීතිමය බාධාවක් නොමැති බවයි.

Social Sharing
නවතම