කොවිඩ් ආසාදිත මරණ භූමිදාන / ආදාහන ගැටලුවේදී ලාංකීය මුස්ලිම් ජනතාව හුදෙකලා කොට, සහරාන් පන්නයේ අන්තවාදීන්ගේ තුරුලට තල්ලු නොකොට, ඔවුනගේ මෙම මානුෂවාදී ඉල්ලීම වෙනුවෙන් ජාති, ආගම්, පක්ෂ බේදයෙන් තොරව පෙළ ගැසෙන්න යැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.පී.එස් පුෂ්පකුමාර මහතා මෙරට සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිය ඩබ්ලිව්.පී.එස්. පුෂ්පකුමාර මහතා මේ වන විට සිටින්නේ ස්විට්සර්ලන්තයේය.
කොවිඩ් ආසාදිත මරණ ගැටලුව සම්බන්ධයෙන් ඔහු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයන්, දෙස්-විදෙස් විශේෂඥන්ගේ විද්‍යාත්මක තහවුරු කිරීම් හා ජාත්‍යන්තර පුර්වාදර්ශ බැහැර කරමින්, ශ්‍රී ලංකා රජය මිත්‍යා මත වපුරමින් කොවිඩ් මරණ භුමදානයට ඉඩ නොදී බලහත්කාරයෙන් ආදාහනය කිරීම පිළිකුලෙන් යුතුව හෙලා දකින බවය.
එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
විශේෂයෙන් ලාංකීය මුස්ලිම් ජනයාගේ කොවිඩ් ආසාධිත මරණ භුමදානයට අවස්ථාව දෙන ලෙසට කරනු ලබන ඔවුන්ගේ ඉල්ලීමට නිසි ප්‍රතිචාරයක් නොදක්වමින් කල්මැරීමේ රජයේ පිළිවෙත රටේ අනාගත සාමයට, සහජීවනයට බාධාවක් වනු නොඅනුමානය. දේශපාලනික, අන්තවාදී, ජාතිවාදී හා අවස්ථාවාදී කරුණු මත පදනම්ව වෛරී චේතනාවෙන් මෙලෙස ක්‍රියාකිරීම ප්රජාතන්ත්රවාදී රජයක් නොකල යුත්තකි.
ඕනෑම ජන සමාජයක ආගමික හා සංස්කෘතික විශ්වාශයන් අතිශය සංවේදී කාරණා වන හෙයින් එවැනි කරුණකදී තීරණ ගත යුත්තේ ඉතා පරිස්සමෙනි. ලොව පුරා රටවල් 195 ට වැඩි ප්‍රමාණයක කොව්ඩ් මරණ භූමදානයට අවසර ලබාදී තිබේ. දැඩි මුස්ලිම් විරෝධයක් ඇති මියන්මාරයේ සහ දැඩි හින්දු මතධාරීන්ගේ විරෝධයක් ඇති අසල්වැසි ඉන්දියාවේද භූමදනයට අවස්ථාව තිබේ. ලෝක තත්වය එසේ තිබියදී ගෝත්‍රික තීරණ ගැනීම අප වැනි සාරවත් ඉතිහාසයක් ඇති රටකට සුදුසු නොවේ.
ව්‍යජ දේශප්‍රේමයක් පෙන්නමින් ජන කොටස් අතර ගිනි අවුළුවා, රටේ සැබෑ ප්‍රශ්න ගැන ඇති ජනතා අවධානය වෙනතකට යොමුකිරීමට දරණ තැත පරාජය කොට, සැබෑ දේශප්‍රේමීයෙක් වෙමු.