මහර ගැටුමෙන් බරපතල තුවාල ලැබු රැඳවියෙක් කෝමා තත්ත්වයක!

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව ඇති වුයේ පහුගිය නොවැම්බර් 29 දාය. දින දෙකක් පුරා පැවති මේ ගැටුමෙන් රැඳවියන් 11 කු මිය ගොස් රැඳවියන් 107 ක් තුවාල ලබා තිබුණි. එමෙන්ම මේ මිය ගිය රැඳවියන් අට දෙනෙක්ම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව මේ වන විට තහවුරු වී ඇත.

එසේම මේ ගැටුමෙන් බරපතල තුවාල ලැබු රැඳවියෙකු මේ වන විටත් ජීවිතයත් මරණයත් අතර සටනක පසු වෙමින් ඇත. බන්ධනාගාර තොරතුරු වලින් මෙතෙක් ඒ බව හෙළිදරව් නොකළ නමුත්  සිරකරු අයීතිවාසිකම් සුරැකීමේ කමිටුව මේ බව අනාවරණය කර ගෙන ඇත.

කෝමා තත්ත්වයට පත්ව මුල්ලේරියාව රෝහලේ දැඩි සත්තාකර ඒ්කකයේ මෙලෙස ප්‍රතිකාර ලබමින් සිටින්නේ ඩබ්ලිව්. පි.සි. එන්. කීර්තිරත්න නම් රැඳවියෙකි.

මහර බන්ධනාගාරයේ ගැටුමෙන් පසු කීර්තිරත්නව සොයා ඔහුගේ මව කිහිප  අවස්ථාවකදිම මහරට ගොස් ඇති අතර එහිදී ඇයට නිලධාරින් පවසා ඇත්තේ ඔහුට පොඩි තුවාලයක් පමණක් සිදුව ඇති බවත් මේ වන විට මහර බන්ධනාගාර රෝහලේ සිටින බවත්ය. කොරෝනා තත්ත්වය නිසා ඔහුව බැලීමට නොහැකි බවද කියා ඇත.

ඇය නිලධාරීන්ගේ ප්‍රකාශය විශ්වාස කර ඇති අතර සිය පුතණුවන්ගේ ප්‍රතිකාර සඳහා රුපියල් 3000 ක මුදලක්ද බන්ධනාගාර නිලධාරීන්ට ලබා දී ඇත. ඒ බව තහවුරු කිරීමට ඇය සන්තකයේ බන්ධනාගාරයෙන් දෙනු ලබන කුඩා තුණ්ඩුවක්ද ඇත.

මේ අතර දෙසැම්බර් 30 වෙනිදා කීර්තිරත්නගේ නිවසට බන්ධනාගාරයෙන් කථා කොට පවසා ඇත්තේ ඔහුට අසාධ්‍ය බැවින් මුල්‌ලේරියාව රෝහලට ඇතුලත් කර ඇති බවය. ඒ අනුව මව මුල්ලේරියාව රෝහලට ගියද එහිදීද සිය පුතණුවන් දැකීමට මවට අවස්ථාව හිමිව නැත.

මේ සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මැදිහත්ව ඔහු ගැන සොයා බැලිමේදි අනාවරණය වී ඇත්තේ මෙම රැඳවියා මුල්ලේරියාව රෝහලට ගෙන ගොස් ඇත්තේ මහර ගැටුමෙන් පසු දින බවය. එමෙන්ම මේ වන විට ඔහු බරපතල තුවාල ලබා කෝමා තත්ත්වයට පත්ව ඇති බවය.

මෙය ඉතාම අමානුෂික සිද්ධියක් බවද සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුව පවසයි.

Social Sharing
නවතම