මහර බන්ධනාගාරයේදි මිය ගිය කාවින්දට යුක්තිය ඉටුවේද?

බන්ධනාගාර තුල සිදුවන රැඳවියන්ගේ ඝාතන ගැන කථා කරද්දී ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ මහර බන්ධනාගාරයේන්ය. ඒ කඩවත, ඉහළ කරගහමුල පදිංචිව සිටි එම්. එච්. ඒ. කාවින්ද තිසේරා නම් විසි හත් හැවිරිදි තරුණයාගේ මරණයයි.

සොරකමක් සම්බන්ධයෙන් අප්‍රේල් මස අග දිනයකදී කඩවත පොලිස් අත්අඩංගුවට පත් වු මෙම තරුණයා අප්‍රේල් 25 දින සිට මහර බන්ධනාගාර (ඕ) වාට්ටුවේ රඳවා තබා ඇත.  බන්ධනාගාරය කියන පරිදි පහුගිය මැයි 03 වෙනි දින අලුයම කාවින්ද හා තවත් රැඳවින් 08 කු බෙඩ් ෂිට් ආධාරයෙන් බන්ධනාගාර තාප්පයෙන් පැන යාමට උත්සහ කර ඇත. එහිදී බන්ධනාගාර නිලධාරීන් ඔවුන්ට වෙඩි තබා ඇති අතර බිම ඇද වැටුණු කාවින්ද බරපතල තුවාල ලබා එහිදී මිය ගිය බව මහර බන්ධනාගාරය විසින් රාගම පොලිසිය කරුණු සැල කර සිටියේය. මෙහිදී බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුත් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවද එහිදී ප්‍රකාශ කෙරුණි.

නමුත් මෙම පුද්ගලයාගේ මරණය ඝාතනයක් බව මේ වන විට කරුණු හෙළිදරව් වෙමින් ඇත්තේය. ඔහුගේ මරණ පරික්ෂණයේදී ඔහුගේ අමාශයේ පිත පමණක් තිබීම තුලින් පෙනී යන්නේ ඔහු දින කිහිපයක් නොකා ඇති බවය. එමෙන්ම මේ මරණය සම්බන්ධයෙන් බන්ධනාගාර රැඳවියෙක් ඇසින් දුටු සාක්ෂියක් ලබා දිමට ඉදිරිපත් වීමය.

එම රැඳවියා ප්‍රකාශ කර සිටින්නේ මෙම කාවින්ද නම් තරුණයාට බන්ධනාගාර නිලධාරීන් විසින් පහර දී මරා දැමුණු බවය.

මේ සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පෙනී සිටිමින් කියා සිටින්නේ මේ ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බවය. එමෙන්ම මේ ඝාතනය සම්බන්ධයෙන් ඔවුන් පහුගිය ජුනි 01 දා ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම වෙතද පැමිණිලි කර තිබුණි.

මෙම සැකකරුගේ ඝාතනය ඇසින් දුටු බව කියන රැඳවියාව මෙම සිදුවීමෙන් පසු පොලොන්නරුව බන්ධනාගාරයට මාරු කර යවා ඇති බව පවසන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා කියයි.

මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීම සඳහා එම ඇසින් දුටු සාක්ෂිකරුගෙන් ලබා ගත් දිවුරුම් ප්‍රකාශනයට අත්සන් ලබා ගැනිම සඳහා පහුගිය ජුනි 02 වෙනි දින නීතිඥ සේනක පෙරේරා මහතා පොලොන්නරුව බන්ධනාගාරය වෙත ගොස් ඇත. පළමුව මේ කාර්යය සඳහා විරුද්ධත්වයක් නොපෙන්වු බන්ධනාගාර අධිකාරිවරයා පසුව කියා ඇත්තේ මෙයට අත්සන් ගැනීමට නම් බන්ධනාගාර ඉහළ නිලධාරීන්ගේ අනුමැතිය අවශ්‍ය බවය. විවිධ හේතු දක්වමින් එදින දවස පුරාම රස්තියාදු කර ඇති සේනක පෙරේරා මහතා නැවත කොළඹ ඒමට පෙර බන්ධනාගාර අධිකාරිවරයාට මේ සම්බන්ධයෙන් ලිඛිතවද ලියවිල්ලක් ලබා දී ඇත.

පසුව නීතිඥ සේනක මහතා විසින් මෙම නඩුව වත්තල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ  පහුගිය ජුනි 12 දා මෝසමක් මඟින් කරුණු දක්වමින් කියා ඇත්තේ මෙය ස්වාභාවික මරණයක් නොවන බවත් ඝාතනයක් බවට කරුණු එළිදරව්වෙමින් පවතින බවය.

එහිදි ඉදිරිපත් වු සියලු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා රාගම පොලීසිය වෙත නියෝග කර ඇත්තේ ඇසින් දුටු රැඳවියාව මෙම මස 19 වෙනි දින වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටය. කාවින්දගේ මරණය සම්බන්ධයෙන් සත්‍ය හෙළිවනතුරු, ඔහුගේ මරණයට යුක්තියක් ඉටුවෙන තුරු කාවින්දගේ දෙමාපියන් හැඬු කඳුලෙන් යුතුව දෑස් අයා බලා සිටිති.

-ශානිකා-

Social Sharing
නවතම