ඇමැතිවරයකුගේ බලපෑමෙන් මිහින්තලා පුද බිමේ ඉඩම් කොල්ලය ජයටම!

බුදුදහම විකාශනයේ කේන්ද්‍රස්ථානය හා ලොව ප්‍රථම අභයස්ථානය වන මිහින්තලා රජමහා විහාරයට අයත් භූමිය දිනෙන් දින ඉඩම් කොල්ල කරුවන්ගේ ග්‍රහණයට නතුවෙමින් පැවතියත් භූමිය බේරා ගැනීමට කටයුතු කරනා නිර්භය රාජ්‍ය ආයතන රාජ්‍ය නිලධාරීන්ට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන අමාත්‍යවරයෙකුගේ බලපෑම් එල්ලවන බව මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් පැවසූහ.

මිහින්තලා රජමහා විහාරස්ථානයට අයත් සාංචි විහාරස්ථානයේ මාධ්‍ය හමුවක් පවත්වමින් නාහිමිපානන් ඊයේ (01දා) මේ බව පැවසුවේය. ගෙවිගිය මාස කිහිපය තුලදී මිහින්තලා රජමහා විහාරස්ථාන පූජා භූමියට අයත් ඉඩම් රැසක් කොල්ලකරුවන් සිය ග්‍රහණයට නතුකර ගැනීම උත්සන්නවීම නිසා උන්වහන්සේ මාධ්‍ය දැනුම්වත් කළ අතර රාජකාරි නිසි අන්දමින් ඉටුකරනා නිලධාරීන්ට අමුතු ආකාරයේ තර්ජනයකට මුහුණ දීමට සිදුව ඇති බව උන්වහන්සේ හෙළි කළහ.

එහිදී වැඩිදුරටත් අනුශාෂනාවක් සිදුකළ නාහිමිපානන් සුද්දාගේ මුඩුබිම් පනත ගෙනල්ලා ස්වාමින්වහන්සේලා හිරකරලා පුදබිම් අයිතිකර ගන්නට හැදුවට සුද්දටවත් බැරිවුනා ඒදේ කරන්න. නමුත් අද වනවිට විවිධ පුද්ගලයන් විවිධ අයගේ නම් පාවිච්චි කරමින් මිහින්තලා පුදබිමේ කොටස් අල්ල ගන්නවා.

මේක බරපතල සිදුවීමක්. අමාත්‍යවරයෙකු තමයි මේ සියල්ලට අනුබල දෙන්නේ. එතුමාට මම දුරකථනයෙනුත් මේ බව දැන්වූ. මම බය නැතුව නම කියනවා මේක කරන අමාත්‍යවරයාගේ. නැත්නම් අනිත් අමාත්‍යවරුත් මේකට ගෑවෙනවා. බර්ටි දිසානායක පාලන සමයෙත් බරපතල විදියට මිනිස්සු ඉඩම් ඇල්ලුවා. නමුත් මේ ආකාරයට පූජා භූමිවල ඉඩම් ඇල්ලුවේ නෑ. දැන් ඒ අය අල්ලන්නේ පූජා භූමියේ ඉඩම්.

හොදම සිදුවීම තමයි ඇතැම් පුරාවිද්‍යා නිලධාරිනුත් ඉඩම් අල්ලනවා. තවත් පුරාවිද්‍යා නිලධාරීන් ඒවා අල්ල ගන්න විවිධ පාර්ශව වලට අනුබල දෙනවා. මේවා සාක්ෂි සහිතවයි මම මාධ්‍යට කියන්නේ.

ග්‍රාම නිලධාරීවරයාගේ ඉදන් පුරාවිද්‍යා වනජීවි වන සංරක්ෂන ප්‍රාදේශිය ලේකම් ප්‍රාදේශීය සභාව එකට එකතුවෙලා බෞද්ධ ජනතාවගේ උරුමය රැක ගන්න එකාවන්ව පෙළ ගැහෙන්න ඕන. නමුත් අද ඒ ආයතනවල ඇතැම් නිලධාරීන්ගේ නිද්‍රාශීලි බව නිසා කොල්ලකරුවන් වැජඹෙනවා.

බරපතලම ප්‍රශ්නය තමයි සේවය කරන්න යන පුරාවිද්‍යා නිලධාරීන්ට ඉඩම් ජාවාරම්කරුවන් කාන්තාවන් යොදවලා අතවර චෝදනා එල්ල කරලා ඔවුන් බිය ගැන්වීම.මේ කටයුතු වලට එරෙහිවන මාධ්‍යවේදින්ට ඔවුන් මරණ තර්ජන එල්ලකරනවා.

හරියට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින්ට හරි උඹලා තවටික දවසයි ඉන්නේ මම අහවලාට කියලා තියෙන්නේ ට්‍රාන්සර් එක දෙන්නම් කියලා ඔවුන් බිය ගන්නනවා. පසුගිය ආණ්ඩුව මිහින්තලා පූජා භූමිය ජාතික උරුමයක් බවට පත්කරා. මේ බිම අද මුළු ජාතියටම අයිතියි. එහි සීමානිර්නය කිරීම් කරලා නිරවුල් කරලා දෙන්න කියලා මම වර්ථමාන රජයෙන් ඉල්ලා සිටිනවා.

එතකොට මේ ප්‍රශ්න සියල්ල ඉවරයි. ඒ කටයුතු හරියට සිදුකෙරුණා නම් ඉදිරියේදී මේ පිංබිම ලෝක උරුමයක් බවටත් පත්වෙන්න පුළුවන්. එතකොට මේ බිම ලෝක වාසින්ටම අයිතියි.

මේ ධර්මද්වීපයේම ප්‍රථම පුණ්‍ය භූමිය. ඉඩම් කොල්ලකාරයෝ හතර වටින් භූමිය අල්ලනවා. අල්ලලා කූඩාරමක් අටවා ගන්නවා. ඊට පස්සේ විදුලිය ගන්නවා ජලය ගන්නවා අපිට අයිතියි බලපත්‍ර තියනවා කිය කිය ඉඩම් අක්කර ගණනින් අල්ලා ගන්නවා. බලපත්‍ර පෙන්වන්න කිවුවම ඒවා ඔවුන් සතුවනෑ. අපිට තර්ජනය කරනවා මුද්‍රණාල තියනවා කැලෑ පත්තර ගහනවා. මම ඡන්දෙට ඇමතිතුමාට පොස්ටර් ගැහුවා කියනවා.

මම ඇමතිතුමාගේ හයියෙන් ඉන්නේ. මට කියලා තියෙන්නේ බය වෙන්න එපා කියලා පුළුවන් නම් අපිව අයින්කරලා පෙන්න පල්ලා කියලා ලොකු ලොකු තර්ජන දානවා.

පසුගිය සමයේ අටමස්ථාන පූජා භූමිය අල්ලගෙන හිටපු පිරිසට මොකද වුණේ ඒවා දාලා යන්න වුනා. අද අටමස්ථාන පූජා භූමිය පූජා භූමියක් විදියට තියනවා. සීමා නිර්නයන් සිදුකරාට පස්සේ තමන් කොච්චර ඉඩම් අල්ලලා ඒවා අයිතිකර ගන්න හැදුවත් වැඩක් නෑ දාලා යන්න වෙනවා. චෝදනාවක් නෙමෙයි කරන්නේ මේවා වසර 2500 කට අධික කාලයක් රැකගත්ත නිසා නේද? අපේ පරම්පරාවට දැක ගන්න තියෙන්නේ.

ඉදිරි පරම්පරාවට අපේ අතීත උරුමයන් දායද කරන්න අවශ්‍ය නැද්ද.මම මේ සටන් කරන්නේ මගේ පෞද්ගලික අවශ්‍යතාවක් සපුරා ගන්නද? මේවා විනාශ කරන්න එපා කියද්දි කියන්නේ හාමුදුරුවෝ අපිට ජීවත්වෙන්න දෙන්නෑ කියලා.

මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඕන තරම් රජයේ ඉඩම් තියනවා.ඉඩම් නැති මිනිස්සුන්ට ඒවා නීත්‍යාණූකූලව ලබා ගන්න පුළුවන්. නමුත් සියළුම දෙනාට ඕන නගරය මැද තිබෙන පූජා භූමියට අයිති ඉඩම් අල්ල ගන්න. ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතැම් අමාත්‍යවරු බිම් මට්ටමේ කරන වැරදි වැඩ දන්නෑ. මේවා නිසා අප්‍රසාධයට පත්වෙන්නේ අපේ ඡන්දයෙන් පත්වෙච්ච ආණ්ඩුව යනුවෙන් නාහිමියන් පැවසූහ.

-අනුරාධපුර මහේෂ් විජේසුරීය-

 

Social Sharing
නවතම