
දණ්ඩනයට නියම වූ බන්ධනාගාර රැඳවියන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා ක්රමානුකූල, සාධාරණ සහ විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් සකස් කිරීම වෙනුවෙන් පත් කළ කමිටුවේ වාර්තාව විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන වෙත ඊයේ (10) භාරදී තිබේ.
මෙම වාර්තාව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී නිල වශයෙන් භාරදීම සිදු වූ අතර, ජනාධිපති පොදු සමාව ප්රදානය කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත්, විනිවිදභාවයෙන් යුත් සහ නීතිමය පදනමක් මත ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඊට ඇතුළත් කර ඇත.
2025 ජුනි 25 දින කැබිනට් මණ්ඩලයේ අනුමැතියට අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව, අදාළ නීති, ආඥා පනත් සහ අධිකරණ තීන්දු අධ්‍යයනය කරමින් දැනට පවතින පරිපාලන ක්‍රියාපටිපාටිවල අඩුලුහුඬුකම් හඳුනාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙම කමිටුව පත්කර තිබුණි.
විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම කමිටුවේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, අතිරේක සොලිස්ටර් ජනරාල් නෙරින් පුල්ලේ, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංග කරවිට, පුනරුත්ථාපන කාර්යාංශයේ සභාපතිනි මහාචාර්ය වසන්තා සුභසිංහ, විශේෂඥ වෛද්‍ය චිත්තහාරි අභයනායක, හිටපු වැඩබලන බන්ධනාගාර කොමසාරිස් නිෂාන් ධනසිංහ, වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර, ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් (නීති) රොෂානි හෙට්ටිගේ සහ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් චන්දිමා වැලිකල යන මහත්ම මහත්මීන් සාමාජිකයන් ලෙස කටයුතු කර ඇත.
රජය පවසන්නේ බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීම, රැඳවියන්ගේ පුනරුත්ථාපන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බන්ධනාගාර පද්ධතියක් ගොඩනැගීම සඳහා ගෙන යන ප්‍රතිසංස්කරණවල මූලික පියවරක් ලෙස මෙම වාර්තාව සැලකෙන බවයි.
එමෙන්ම, කමිටුව ඉදිරිපත් කර ඇති නිර්දේශ සලකාබලා ඒවා සුදුසු පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරි කාලයේදී අවශ්‍ය පියවර ගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සඳහන් කරයි.
