
අස්වැසුම ප්‍රතිලාභී පවුල් සහනාධාර මත පමණක් යැපෙන තත්ත්වයෙන් මුදාගෙන, ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම් වෙත යොමු කිරීම රජයේ ප්රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයට අදාළ 2026 වසරේ අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ 2027 වසරේ අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ, මේ වන විට පවුල් 16,000ක් සඳහා මනෝ-සමාජීය සහ ආර්ථික සහාය ලබාදීමේ වැඩසටහන් ආරම්භ කර ඇති අතර, අඩු ආදායම්ලාභීන් දිගුකාලීනව සහනාධාර මත රඳවා නොගෙන අර්ධකාලීන ශ්‍රම දායකත්වයන් වෙත යොමු කිරීම වැදගත් බවයි. ඒ සඳහා වැවිලි ක්ෂේත්රය ඇතුළු නිෂ්පාදන අංශවල පවතින අවස්ථා ප්‍රයෝජනයට ගත යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.
දුගී බව තුරන් කිරීම සඳහා පවුල් ඒකක කේන්ද්‍ර කරගත් ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා, විවිධ ආයතන මගින් වෙන් වෙන්ව ක්‍රියාත්මක වන ප්‍රතිපාදන එකමුතු කර, නිශ්චිතව හඳුනාගත් පවුල් ඉලක්ක කරගත් විද්‍යාත්මක වැඩසටහනක් අවශ්‍ය බව සඳහන් කළේය.
සමාජ සුබසාධන වැඩසටහන්වල ප්රතිලාභ ලබන සෑම පවුලක්ම සැබෑ ලෙස සවිබල ගැන්වෙනවාද යන්න මැන බැලිය හැකි විධිමත් ඇගයීම් ක්‍රමවේදයක් හඳුන්වාදීමත්, ඒ මත පදනම් වූ ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් ගොඩනැගීමත් රජයේ අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම, ප්‍රජා සංවර්ධනය සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන ප්‍රාදේශීය සභා මට්ටමින් ක්‍රියාත්මක වන ව්‍යාපෘති අතර බෙදී ගොස් ඇති ආකාරය සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳව ද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වූ බව සඳහන් වේ.
අපනයන විභවතාව සහිත ව්‍යවසායකයන් දිරිගැන්වීම සඳහා යෝජිත ණය සහ ආධාර වැඩසටහන් පිළිබඳව ද අමාත්‍යාංශ නිලධාරීන් ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.
සාකච්ඡාවේදී තවදුරටත් අවධාරණය කෙරුණේ, කිසිදු ශ්‍රම දායකත්වයක් ලබාදිය නොහැකි ආබාධිත, වැඩිහිටි සහ නිදන්ගත රෝගීන් සහිත පවුල් රජය විසින් අඛණ්ඩව රැකබලා ගන්නා අතර, ශ්‍රම ශක්තිය ඇති ප්‍රතිලාභීන් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට සක්‍රීයව එක්කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි.
එසේම, එක් එක් අමාත්‍යාංශය වෙන වෙනම මුදල් වැය කිරීම වෙනුවට, පවුල් ඒකකයක අවශ්‍යතා හඳුනාගත් පවුල් සංවර්ධන සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
විදේශ ආධාර සහ රජයේ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක සවිබල ගැන්වීමේ වැඩසටහන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර, රැකියාවේ නියුතු මව්වරුන්ට සහ ආබාධ සහිත දරුවන්ට සහන සැලසීම සඳහා සැලසුම් කර ඇති දිවා සුරකුම් මධ්‍යස්ථාන 10ක් මෙම වසර තුළ අවසන් කිරීමටත්, ඉදිරි වසර කිහිපය තුළ දිවයින පුරා එවැනි මධ්‍යස්ථාන 50ක් ඉදිකිරීමේ සැලසුම් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
ඊට අමතරව, ආබාධිත පුද්ගලයන් සඳහා පොලිස් ස්ථාන, රෝහල් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු පොදු ස්ථානවල ප්‍රවේශ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 283ක ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවත්, ජාතික සමාජ සංවර්ධන ආයතනය මගින් ක්‍රියාත්මක දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමය නවීන තාක්ෂණය යොදා වඩාත් විනිවිදභාවයෙන් පවත්වාගෙන යාම සඳහා ද පියවර ගෙන ඇති බවත් මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.
