ලංකා ඉතිහාසයේ පළමු වතාවට බන්ධනාගාර අධිකාරිවරයෙකුට එරෙහිව නීතිපතිගෙන් සෘජු නඩු!

“අපි නිවැරදිකරුයි” – කූට ලේඛන හදා කෝටි 50ක බැංකු වංචාකාරයා පැන්නූ හිටපු අධිකාරි මොහාන් කරුණාරත්න සහ දෙවැනි විත්තිකරු අධිචෝදනා 5ටම උත්තර දෙයි

විශේෂඥ වෛද්‍යවරුන් සහ ප්‍රභූන් රැසක් බිලිගත් මැනේජර් අතුල තිලකරත්න දැනටමත් අවුරුදු 5ක හිරදඬුවමක; ප්‍රධාන නඩු විභාගය අගෝස්තු 06 වැනිදාට

2025 වසරේ වෙසක් පුරපසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් දුන් ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින්, අධිකරණ හමුවේ මූල්‍ය වංචා නඩු 28ක් පවතින මහා පරිමාණ විත්තිකරුවෙකු කූට ලේඛන සකස් කර නීතිවිරෝධී ලෙස බන්ධනාගාරයෙන් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව, එවකට අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාව සිටි මොහාන් කරුණාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකළ අධිචෝදනා 5ක් අද (07) අනුරාධපුර මහාධිකරණයේදී වෙන් වෙන් වශයෙන් කියවා භාර දෙනු ලැබීය.

උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක ඉදිරියේදී මෙම අධිචෝදනා කියවා භාරදුන් අතර, ලංකා බන්ධනාගාර ඉතිහාසය තුළ ජනාධිපති සමාව ව්‍යාජ ලෙස සකසා සිරකරුවෙකු මුදාහැරීම සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයෙකුට එරෙහිව මහාධිකරණයේ ඍජුව නඩු පැවරුණු ප්‍රථම අවස්ථාව මෙය වේ.

නීතිපතිවරයා ගොනුකළ බරපතළ අධිචෝදනා 5

මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික විභාගයකින් තොරව, වසරක් ඇතුළත විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකා නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය සහ අධිකරණ සංවිධාන පනතේ විධිවිධාන යටතේ විත්තිකාර හිටපු බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව මෙම චෝදනා ඉදිරිපත් කර තිබේ.

දඬුවමින් බේරාගැනීමේ කුමන්ත්‍රණය:

වෙසක් පොහොය පොදු සමාව සඳහා කිසිදු සුදුසුකමක් නොලබා සිටි ඩී/52796 සිර අංකය දැරූ දෙවැනි විත්තිකාර ඩබ්.ඒ. අතුල තිලකරත්න නමැති සිරකරුවාව නීත්‍යනුකූල දඬුවමින් බේරාගැනීමේ පොදු අරමුණින් යුතුව ක්‍රියා කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 113(ආ), 102 සහ 214 වගන්ති යටතේ කුමන්ත්‍රණය කිරීම සහ ඊට අනුබල දීම.

රාජ්‍ය නියෝග සහ ව්‍යවස්ථාපිත නීති උල්ලංඝනය:

ජනාධිපති සමාවට අදාළව නිකුත් කර තිබූ නිල නිර්ණායක ඕනෑකමින්ම පැහැර හරිමින් කටයුතු කිරීම මඟින් දණ්ඩ නීති සංග්‍රහයේ 214 වගන්තිය සහ 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතේ 18 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 289 වගන්තිය යටතේ වන නීතිමය ප්‍රතිපාදන උල්ලංඝනය කිරීම.

අසත්‍ය ලේඛන මහාධිකරණයට ඉදිරිපත් කිරීම:

අදාළ සිරකරු වෙසක් පොදු සමාව යටතේ නිදහස් වූ බව හැඟවෙන සාවද්‍ය නිවේදනයක් සහ කූට ලෙස සකස් කළ වාර්තාවක් වංචා කිරීමේ චේතනාවෙන් යුතුව අනුරාධපුර මහාධිකරණ අංක 01හි රෙජිස්ත්‍රාර්වරයා වෙත යොමු කිරීම මඟින් දණ්ඩ නීති සංග්‍රහයේ 107 සහ 452 සමඟ කියවිය යුතු 454 වැනි වගන්ති යටතේ වංචා කිරීමේ වැරදි සිදු කිරීම.

විත්තිකරුවන්ගේ ප්‍රතිචාරය සහ කෝටි 50ක බැංකු මාෆියාව

අධිචෝදනා කියවා භාරදීමෙන් අනතුරුව, තමන් මෙම චෝදනාවලට නිවැරදිකරු බව හිටපු බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න ස්වකීය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට ප්‍රකාශ කළේය.

ඇප මත මුදාහැරීම:

ඒ අනුව පළමු විත්තිකරු රුපියල් 25,000ක මුදල් ඇප සහ ලක්ෂ 2ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා, ප්‍රධාන නඩු විභාගය එළඹෙන අගෝස්තු මස 06 වැනිදා ආරම්භ කිරීමට දින නියම කළේය.

දෙවැනි විත්තිකරුගේ මහා පරිමාණ වංචා:

මෙම නඩුවේ දෙවැනි විත්තිකරු වන ඩබ්.එම්. අතුල තිලකරත්න ද තමන් නිවැරදිකරු බව ප්‍රකාශ කළේය. ඔහු මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික බැංකුවක කළමනාකරුවෙකු ලෙස සේවය කරමින්, වැඩි පොලී ලබාදෙන බව පවසා විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්, උසස් පොලිස් නිලධාරීන් සහ රාජ්‍ය පරිපාලන නිලධාරීන් රවටා රුපියල් කෝටි 50කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් පවරන ලද නඩු 28කට (මහාධිකරණයේ 6ක් සහ මහේස්ත්‍රාත් අධිකරණයේ 22ක්) මුහුණ දී සිටින අයෙකි.

දැනටමත් සිරදඬුවමක:

කූට ලේඛන මඟින් නිදහස්ව ගොස් සිටියදී නැවත අත්අඩංගුවට පත් වූ අතුල තිලකරත්න නමැති මෙම විත්තිකරු, වෛද්‍යවරයෙකුගේ රුපියල් ලක්ෂ 35ක මුදලක් වංචා කිරීමේ වෙනත් නඩුවකට අදාළව මහාධිකරණය මඟින් පනවන ලද වසර 5ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් දැනටමත් අනුරාධපුර බන්ධනාගාරය තුළ විඳිමින් සිටින අතර, ඔහුව අද දින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ ද බන්ධනාගාර ආරක්ෂාව යටතේය.

උපුටා ගැනීම Leader.lk

Social Sharing
නවතම පුවත්