2023 වසරේ දී ප්‍රෙඩ්නිසිලෝන් ඇසිටේට් ඖෂධය ලබා ගැනීමෙන් අනතුරුව දෘෂ්ටිය අහිමි වූ තවත් රෝගීන් සිව් දෙනෙකුට වන්දි!

ප්‍රෙඩ්නිසිලෝන් ඇසිටේට් දියරමය අක්ෂි ඖෂධය භාවිත කිරීමෙන් අනතුරුව දෘෂ්ටිය අහිමි වූ තවත් රෝගීන් සිව් දෙනෙකු සඳහා එක් අයෙකුට රුපියල් මිලියනය බැගින් වන්දි ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

2023 මාර්තු 3 සිට 2023 මැයි 16 දක්වා කාලය තුළ ප්‍රෙඩ්නිසිලෝන් ඇසිටේට් දියරමය අක්ෂි ඖෂධය භාවිත කිරීමෙන් පසු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම්වලට භාජනය වූ රෝගීන් කිහිප දෙනෙකුගේ දෘෂ්ටිය අහිමි වීම හෝ බරපතළ ලෙස දුර්වල වීමේ සිදුවීම් වාර්තා වී තිබුණි.

ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකින් අනතුරුව, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වීමෙන් පසු දෘෂ්ටිය අහිමි වූ රෝගීන් 17 දෙනෙකුට මේ වනවිටත් වන්දි ලබා දී ඇත.

මේ අතර, එම කාලසීමාව තුළ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලෙන් පිටත වෙනත් රෝහල්වලදී අක්ෂි සැත්කම්වලට භාජනය වීමෙන් අනතුරුව එම ඖෂධය භාවිත කිරීම හේතුවෙන් අක්ෂි ආබාධයන්ට ලක් වූ රෝගීන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විශේෂඥ තාක්ෂණික කමිටුවේ නිර්දේශ මත තවත් රෝගීන් සිව් දෙනෙකුට වන්දි ගෙවීමට නිර්දේශ කර ඇත.

ඒ අනුව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගත් අමාත්‍ය මණ්ඩලය, එම රෝගීන් සිව් දෙනාට එක් අයෙකුට රුපියල් මිලියනය බැගින් වන්දි ලබාදීම සඳහා අනුමැතිය ලබා දීමට තීරණය කර තිබේ.

Social Sharing
නවතම පුවත්