
ගාසා තීරයේ වසර 19ක් පුරා පැවති පාලනයෙන් ඉවත් වී පරිපාලන කමිටුව විසුරුවා හැරීමට හමාස් සංවිධානය තීරණය කර තිබේ. වසර තුනකට ආසන්න කාලයක් පුරා පැවති යුද ගැටුම්වලට ස්ථිර විසඳුමක් සෙවීමේ උත්සාහයක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ගාසා තීරයේ සිවිල් පරිපාලනයක් ස්ථාපිත කිරීම සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් තමන් පවත්වාගෙන ගිය සියලු රාජ්‍ය ආයතන විසුරුවා හරින බවයි. එමෙන්ම පරිපාලන කටයුතු භාර ගැනීම සඳහා තාක්ෂණික කමිටුවකට අවශ්‍ය පහසුකම් සහ සහයෝගය ලබාදීමට ද සංවිධානය එකඟ වී ඇත.
මෙම පියවර ගෙන ඇත්තේ ඇමරිකාවේ මැදිහත්වීමෙන් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ඇති කරගත් ඊශ්‍රායල හමාස් සටන් විරාම ගිවිසුමේ දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීමේ කොටසක් ලෙසයි. එම ගිවිසුමට අනුව හමාස් සංවිධානය ගාසා තීරයේ පරිපාලන වගකීම්වලින් ඉවත් විය යුතු අතර, ඒ අනුව ගාසා හමාස් රජයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන මොහොමඩ් අල් ෆරා ද සිය ධුරයෙන් නිල වශයෙන් ඉවත් වීමට නියමිත බව වාර්තා වේ.
2006 වසරේ පැවති ව්‍යවස්ථාදායක මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව 2007 වසරේදී ගාසා තීරයේ පාලනය භාරගත් හමාස් සංවිධානය එතැන් සිට දේශපාලන හා සන්නද්ධ සංවිධානයක් ලෙස කටයුතු කළේය. ඒ අනුව වසර 19කට පසු පරිපාලන බලය අත්හැරීමට ගත් මෙම තීරණය එම සංවිධානයේ දේශපාලන ඉතිහාසයේ සැලකිය යුතු වෙනසක් ලෙස සැලකේ.
කෙසේ වෙතත්, හමාස් සංවිධානය පරිපාලනයෙන් ඉවත් වීමට සූදානම් බව සටන් විරාමය ආරම්භයේ සිට වරින් වර ප්‍රකාශ කළද, සංවිධානයේ ආයුධ නිරායුධ කිරීම සම්බන්ධ ප්‍රධාන ගැටලුව තවමත් විසඳී නොමැති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ අතර, සටන් විරාම ගිවිසුමට අනුව ගාසා තීරයේ අනාගත පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පිහිටුවා ඇති ජාතික කමිටුව ඉදිරි කාලයේදී පරිපාලන වගකීම් භාරගෙන සිවිල් පාලන කටයුතු ආරම්භ කරනු ඇතැයි හමාස් සංවිධානය ප්‍රකාශ කර තිබේ.
