මහජන මුදල් වැය කළ ඉඩම් ගනුදෙනුව: ඉඩම් උකස් බැංකුව මහජන මුදල්වලට වගකියයි ද?


සබරගමුව පළාතේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන කිණිගොඩ කෝරළ ඉඩම් උකස් බැංකුව ප්‍රදේශයේ ජනතාවගේ මූල්‍ය ගනුදෙනු සඳහා වැදගත් ආයතනයක් ලෙස සැලකේ. ගනුදෙනුකරුවන්ගේ කෝටි ගණනක තැන්පතු සහ මුදල් පරිහරණය වන මෙම බැංකුව සම්බන්ධයෙන් 2021 වසරේ සිදු කළ ඉඩම් මිලදී ගැනීමක් පිළිබඳව බරපතළ ප්‍රශ්න රැසක් මතුව තිබේ.

2021 වසරේදී කෑගල්ල නගරයේ පිහිටි බැංකුව සඳහා, බැංකුවට යාබදව පිහිටි “හිටියා කුඹුර” නමින් හඳුන්වන ප්‍රදේශයේ පර්චස් 15ක ඉඩම් කැබැල්ලක් රුපියල් කෝටි හතරකට ආසන්න මුදලකට මිලදී ගෙන තිබේ.
කෙසේ වෙතත්, මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් පසුව මතුවූ තොරතුරු අනුව, ඉඩම විකුණූ පාර්ශ්වය විසින් ඉඩමට අයත් බවට පෙන්වා දුන් ප්‍රවේශ මාර්ගය පිළිබඳ අයිතිය සම්බන්ධයෙන් ගැටලු ඇති වී තිබේ.

වාර්තා වන ආකාරයට, විකුණුම්කාරියගේ ස්වාමිපුරුෂයා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව, බැංකුව ප්‍රවේශ මාර්ගයක් ලෙස සලකා තිබූ පර්චස් 2.5ක ඉඩම් කොටසෙහි වෙළඳසැලක් ඉදිකර ඇත.

ඒ අනුව බැංකුව ඔහුට එරෙහිව නඩු පැවරුවද, අධිකරණය හමුවේ එම පර්චස් 2.5ක කොටස විකුණුම්කාරියගේ ස්වාමිපුරුෂයාට අයත් බව තහවුරු වූ බව සඳහන් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස බැංකුව එම නඩුවෙන් පරාජයට පත්ව ඇති අතර, පසුව ගොනු කළ තවත් නඩුවකින්ද පරාජයට පත්වූ බව වාර්තා වේ.
ඉන් අනතුරුව විකුණුම්කාරියගේ ස්වාමිපුරුෂයා විසින් බැංකුව මිලදී ගත් පර්චස් 15ක ඉඩමේද ඉදිකිරීමක් ආරම්භ කර ඇති අතර, බැංකුව අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබා ගත්තද, එය පසුව ඉවත් කරගෙන ඇති බව සඳහන් වේ.
දැනට අධිකරණයේ විභාග වන නඩුවේදී බැංකුව මිලදී ගත් පර්චස් 15ක ඉඩම් කොටසෙන් පර්චස් 7.5ක් විකුණුම්කාරියගේ ස්වාමිපුරුෂයාට අයත් බව තහවුරු වී ඇති බව ද වාර්තා වේ.

මෙම ඉඩම මිලදී ගැනීම සඳහා ගෙවූ මුදල් මෙන්ම පසුව ගෙන ගිය නඩු කටයුතු සඳහා වැය වූ වියදම් සියල්ලම බැංකුවේ අරමුදල් වන අතර, එම අරමුදල් ගනුදෙනුකරුවන්ගේ සහ මහජනතාවගේ මුදල් බව පෙන්වා දෙයි.
මේ හේතුවෙන් පහත සඳහන් ප්‍රශ්න මතුවේ.

බැංකුව දේපළ මිලදී ගැනීමේදී අදාළ නීතිමය පරීක්ෂණ (Due Diligence) සහ නියාමන ක්‍රියාපටිපාටි නිසි ලෙස අනුගමනය කළේද?
ඉඩමේ හිමිකාරිත්වය සහ මායිම් සම්බන්ධයෙන් ප්‍රමාණවත් නීතිමය තහවුරු කිරීමක් සිදු කර තිබුණේද?

වංචනික ලෙස ඉඩම විකිණීමක් සිදුවී ඇත්නම්, විකුණුම්කාරියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට වෙනත් පාර්ශ්වයකට එරෙහිව නඩු පැවරීමෙන් බැංකුවට අමතර මූල්‍ය පාඩුවක් සිදුවී තිබේද?

ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම මත 2025 නොවැම්බර් 11 දින මෙම ඉඩම් ගනුදෙනුව සම්බන්ධයෙන් සමූපකාර සංවර්ධන කොමසාරිස් කාර්යාලයට තොරතුරු ඉල්ලීමක් යොමු කර තිබුණද, ඒ සඳහා මේ දක්වා සම්පූර්ණ හෝ ප්‍රමාණවත් පිළිතුරක් ලබාදී නොමැති බවටද චෝදනා එල්ල වී තිබේ.

Social Sharing
අවකාශය පුවත්