
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දීර්ඝකාලීන සුබසාධන සම්ප්රදායයක් සහිත රාජ්‍යයක් ලෙස සැලකේ. නොමිලේ අධ්‍යාපනය, නොමිලේ සෞඛ්‍ය සේවය, ආහාර සහනාධාර, නිවාස ආධාර සහ මූල්‍යමය සුබසාධන වැඩසටහන් මගින් දරිද්‍රතාව අවම කිරීම සඳහා දශක ගණනාවක් පුරා විවිධ ආණ්ඩු විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත. එහෙත් 2022 ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාව නැවතත් දැඩි දරිද්‍රතා අභියෝගයකට මුහුණ දී සිටී. ජාත්‍යන්තර සංවර්ධන ආයතන පෙන්වා දෙන්නේ 2019 සිට 2024 දක්වා කාලය තුළ දරිද්‍රතාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවය. මෙය රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ, සමාජ ආරක්ෂණ ප්‍රතිපත්ති සහ සංවර්ධන සැලසුම් පිළිබඳ ගැඹුරු සංවාදයක අවශ්‍යතාව මතු කර තිබේ.
දරිද්‍රතාව යනු ආදායම් හිඟයක් පමණක් නොවේ. නොඑසේ නම් එය ආදායම් පිළිබඳ ප්‍රශ්නයකට පමණක් ලඝු කළ නොහැකිය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව දරිද්‍රතාව යනු පුද්ගලයකුට ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සම්පත්, අවස්ථා සහ හැකියාව අහිමිවීමේ බහුවිධ සමාජ තත්වයකි. එය මානවයකුගේ යහ පැවැත්මට තර්ජනයකි. ආහාර, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය, පිරිසිදු ජලය, තොරතුරු සහ සමාජ සහභාගීත්වය වැනි මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීම දරිද්‍රතාවේ මූලික ලක්ෂණ ලෙස හඳුනා ගනී. ලෝක බැංකුව භාවිත කරන ජාත්‍යන්තර අන්ත දරිද්‍රතා රේඛාව දිනකට ඇමෙරිකානු ඩොලර් 2.15 ක් වන අතර, මධ්‍යම ආදායම් ලබන රටවල දරිද්‍රතාව තක්සේරු කිරීම සඳහා ඩොලර් 3.65 සහ ඩොලර් 6.85 යන කඩයිම් ද භාවිත කෙරේ. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) හඳුන්වා දී ඇති බහුමාන දරිද්‍රතා දර්ශකය (Multidimensional Poverty Index) මගින් ආදායමට අමතරව අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ජීවන තත්වය ද දරිද්‍රතාව මැනීමේ දී සැලකිල්ලට ගනී.
ශ්‍රී ලංකාවේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව දරිද්‍රතාව මැනීම සඳහා ජාතික දරිද්‍රතා රේඛාව භාවිත කරයි. 2026 අප්‍රේල් මාසය වන විට ජාතික නිල දරිද්‍රතා රේඛාව පුද්ගලයකුට මසකට රුපියල් 17,117 ක් ලෙස වාර්තා වී තිබේ. එනම්, පුද්ගලයකුට තම මූලික ආහාර හා ආහාර නොවන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවම වශයෙන් මසකට රුපියල් 17,117 ක වියදමක් දැරිය යුතු බව මෙම දර්ශකය පෙන්වා දෙයි. සාමාජිකයන් හතර දෙනකුගෙන් යුතු පවුලක් නම් මෙම අගය රුපියල් 68,468 ක් පමණ වේ. ජීවන වියදම් සහ උද්ධමනය ඉහළ යාමත් සමග මෙම දරිද්‍රතා රේඛාව ද අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර, දරිද්‍රතාව යනු ආදායම් අඩු වීමේ අවම වීමෙන්ම හටගන්නක් නොව, මිල මට්ටම්, පාරිභෝගික වියදම් සහ ජීවන තත්වය සමග සෘජුව බැඳී ඇති සමාජ ආර්ථික අර්බුදයක් බව ද එයින් පැහැදිලි වේ.
1994 දී ජනසවිය වෙනුවට සමෘද්ධි වැඩසටහන හඳුන්වා දුන්නේය. සමෘද්ධිය ලංකාවේ විශාලතම සහ දීර්ඝතම සුබසාධන වැඩසටහන බවට පත් විය. ලක්ෂ සංඛ්‍යාත පවුල්වලට මාසික දීමනා, ණය පහසුකම් සහ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති හරහා සහාය දුන් නමුත්, කාලයත් සමග සමෘද්ධිය සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතු විය. ප්‍රතිලාභීන් තෝරාගැනීමේ දේශපාලන බලපෑම්, සුදුසුකම් නොමැති පිරිස් ඇතුළත් වීම, සැබෑ දිළිඳුන් ඉවත් වීම සහ ප්‍රතිලාභීන් දිගුකාලීනව සුබසාධනය මත යැපීම වැනි ගැටලු ඒ අතර ප්‍රධාන විය. බොහෝ පර්යේෂකයන් පෙන්වා දී ඇත්තේ සමෘද්ධිය දරිද්‍රතාවෙන් මුදා ගැනීමේ වැඩසටහනකට වඩා දරිද්‍රතාව කළමනාකරණය කිරීමේ වැඩසටහනක් බවට පත්ව ඇති බවයි.
දිවිනැගුම වැඩසටහන මගින් ග්‍රාමීය ආර්ථිකය, ගෘහස්ථ නිෂ්පාදනය, කුඩා ව්‍යාපාර සහ ආහාර සුරක්ෂිතතාව ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කෙරිණි. කෙසේ වෙතත්, එම වැඩසටහන ද දිගුකාලීන දරිද්‍රතා අවම කිරීමේ තිරසාර යාන්ත්‍රණයක් බවට පත්වීමට අපොහොසත් විය. ප්‍රතිපත්ති සහ වැඩසටහන් වෙනස් වුව ද, දරිද්‍රතාවේ මූල හේතු වන අඩු ඵලදායිතාව, රැකියා හිඟය, සම්පත් අසමාන බෙදීයාම සහ සමාජ විසමතා ආමන්ත්‍රණය කිරීමේ දී ප්‍රමාණවත් සාර්ථකත්වයක් ලැබී නොතිබුණි.
2022 ආර්ථික අර්බුදයෙන් පසුව රට තුළ දරිද්‍රතාව වේගයෙන් ඉහළ ගියේය. උද්ධමනය සියයට 70 ඉක්මවූ කාල පරිච්ඡේදයක් තුළ ආහාර, ඉන්ධන, ඖෂධ සහ ප්‍රවාහන වියදම් දැඩි ලෙස ඉහළ යාම ශීඝ්‍රයෙන් සිදුවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ පවුල්වල සැබෑ ආදායම් පහළ වැටුණු අතර මධ්‍යම පන්තියේ කොටසක් ද දරිද්‍රතාවට ආසන්න තත්වයකට පත් විය. මෙම පසුබිම තුළ රජය විසින් 2023 දී අස්වැසුම වැඩසටහන හඳුන්වා දෙනු ලැබීය.
අස්වැසුම වැඩසටහන පෙර පැවැති සමෘද්ධි ක්‍රමයට වඩා දත්තපදනම් කරගත් ඉලක්කගත සුබසාධන වැඩසටහනක් ලෙස ඉදිරිපත් කෙරිණි. අති දුප්පත්, දුප්පත්, අවදානම් සහ සංක්‍රාන්ති යන කාණ්ඩ හතර යටතේ පවුල් වර්ගීකරණය කර ප්රතිලාභ ලබාදීම එහි විශේෂත්වය විය. 2026 ආරම්භය වන විට අස්වැසුම ප්රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව මිලියන 1.66කට ආසන්න විය.
එනම් ලක්ෂ 16කට අධික පවුල් සංඛ්‍යාවක් මෙම වැඩසටහන මත යම් ප්‍රමාණයකට හෝ රඳා සිටින බව පැහැදිලිය. ඒ සඳහා රජය මාසිකව රුපියල් බිලියන 13කට වැඩි මුදලක් වැය කරන අතර වාර්ෂික වියදම රුපියල් බිලියන 160 කට අධික මට්ටමක පවතී. ආර්ථික අර්බුදයෙන් පසුව මෙය ලංකාවේ විශාලතම සමාජ ආරක්ෂණ වැඩසටහන බවට පත්ව ඇත.
කෙසේ වෙතත්, නව රජය අස්වැසුම වැඩසටහනේ ප්‍රතිලාභීන් සංඛ්‍යාව සීමා කිරීමට සහ විශේෂයෙන්ම “ සංක්‍රාන්ති” හා “අවදානම්” කාණ්ඩවලට අයත් පවුල්වල ප්රතිලාභ නැවත සමාලෝචනය කිරීමට පියවර ගෙන ඇත. රජයේ තර්කය වන්නේ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය සඳහා සුබසාධන වියදම් වඩා ඉලක්කගත කළ යුතු බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ද රාජ්‍ය වියදම් කාර්යක්ෂම කිරීම වැදගත් අරමුණකි.
මෙම ප්‍රතිපත්තියට ධනාත්මක අංශ ද පවතී. සීමිත සම්පත් සැබෑ දිළින්දන් වෙත යොමු කිරීමෙන් වියදම් කාර්යක්ෂමතාව වැඩි කළ හැකිය. සුදුසුකම් නොමැති ප්‍රතිලාභීන් ඉවත් කිරීමෙන් රාජ්‍ය මුදල් ඉතිරි කර ගත හැකිවීම ද තවත් ප්රතිලාභයකි. එමෙන්ම දිගුකාලීනව සුබ සාධනය මත යැපීම අවම කර ශ්‍රම වෙළෙඳ පොළට ජනතාව යොමු කිරීමේ හැකියාව ද මේ තුළ අන්තර්ගතව පවතී.
එහෙත් ඍණාත්මක බලපෑම් මතුපිටින් පෙනෙන මානයට වඩා ගැඹුරු විය හැකිය. ලංකාවේ දරිද්‍රතාව පිළිබඳ නවතම අධ්‍යයන පෙන්වා දෙන්නේ අන්ත දරිද්‍රතාවේ සිටින ජනතාවට අමතරව දරිද්‍රතා රේඛාවට ඉතා ආසන්නව ජීවත් වන විශාල ජනගහනයක් සිටින බවයි. ඔවුන් ” අවදානම් ජනගහනය” ලෙස හැඳින්විය හැකිය. රැකියාව අහිමිවීමක්, අසනීපයක්, ස්වාභාවික ආපදාවක් හෝ ආදායම් අඩු වීමක් හමුවේ ඔවුන් ඉතා පහසුවෙන් දරිද්‍රතාවට ඇද වැටීමේ වඩාත් පුළුල් විභවයක් පවතී. වෙනත් විධිමත් සංවර්ධන වැඩසටහනකට යොමු නොකර ගනිමින් අස්වැසුම කප්පාදුවෙන් මෙම පිරිසගේ ආර්ථික ආරක්ෂාව දුර්වල කිරීමේ අවදානම පවතින්නේ ඉතා ඉහළ මට්ටමකය.
අමර්ත්‍ය සෙන්ගේ හැකියාමය ප්‍රවේශය (Capability Approach) න්‍යායයට අනුව සංවර්ධනය යනු ආදායම වැඩි කිරීම පමණක් නොව, මිනිසුන්ගේ ජීවන අවස්ථා සහ තේරීම් පුළුල් කිරීමක් වේ. මේ අනුව සුබසාධනය යනු ඉලක්ක ගත ජන කණ්ඩායමක් උදෙසා පිරිනමන “පිනට යමක්” නොවිය යුතුය. එය මිනිසුන්ගේ හැකියාව වර්ධනය කිරීමට උපකාරී වන සමාජ ආයෝජනයක් විය යුතු වේ. අස්වැසුම වැනි වැඩසටහන් කප්පාදු කිරීමේ දී ඒවා මත යැපෙන පවුල්වල අධ්‍යාපනය, සෞඛ්‍යය, පෝෂණය සහ මානව ප්රාග්ධනය කෙරෙහි ඇතිවන බලපෑම් ද සලකා බැලිය යුතුය. එය සමාජ ආරක්ෂණ ක්‍රියාවලියක ප්රබලව අවධානය යොමු කළ යුතු ප්රවේශයකි.
මෙම සන්දර්භය තුළ අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ දරිද්‍රතාව යනු පුද්ගලයකුගේ හෝ පවුලක වත්මන් ආදායම් මට්ටමෙන් පමණක් තීරණය වන්නක් නොවන බවය. සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි දරිද්‍රතාව බොහෝ විට පරම්පරාගතව සම්ප්‍රේෂණය වන සමාජීය තත්වයකි. දරිද්‍ර පවුල්වල දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනය, පෝෂණය, තාක්ෂණික කුසලතා සහ සමාජ ප්රාග්ධනය වෙත ඇති ප්‍රවේශය සීමා වීම හේතුවෙන් ඔවුන්ගේ අනාගත ආදායම් අවස්ථා ද සීමා විය හැකිය. එබැවින් අස්වැසුම වැනි සුබසාධන වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ඒවා හුදෙක් රාජ්‍ය වියදමක් ලෙස නොව, සමාජ ආයෝජනයක් ලෙස ද සැලකිය යුතු වේ.
එමෙන්ම දරිද්‍රතාව හා සමාජ බැහැර කිරීම (Social Exclusion) අතර පවතින සම්බන්ධතාව ද මෙහිදී වැදගත් වේ. ආදායම් හිඟය හේතුවෙන් පුද්ගලයන්ට අධ්‍යාපන, සෞඛ්‍ය, මූල්‍ය සහ ඩිජිටල් සේවා වෙත ප්‍රවේශ වීම සීමා වන අතර, එය ඔවුන් ප්‍රධාන සමාජ හා ආර්ථික ක්‍රියාවලීන්ගෙන් ක්‍රමයෙන් ඉවත් වීමට හේතු වේ. එවැනි තත්වයක් තුළ සුබසාධන ප්රතිලාභ අඩු කිරීම හෝ ඉවත් කිරීම, දැනටමත් අවදානම් තත්වයක පසුවන පවුල් තවදුරටත් සමාජ අන්තී කරණය වෙත තල්ලු කිරීමේ අවදානමක් දරයි.
ඒ අනුව, අස්වැසුම කප්පාදු කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ නම්, එය වෘත්තීය පුහුණු වැඩසටහන්, ආදායම් උත්පාදන ව්‍යාපෘති, කුඩා ව්‍යාපාර සහන, කාන්තා ආර්ථික සුවිබල ගැන්වීමේ වැඩසටහන් සහ තරුණ රැකියා උත්පාදන ක්‍රියාමාර්ග සමග ඒකාබද්ධ විය යුතුය. එසේ නොමැතිව ඒකාබද්ධ සංවර්ධන රාමුවක අවශ්‍යතාව සුබ සාධනය ඉවත් කිරීම පමණක් සිදු වුවහොත්, දරිද්‍රතාව අඩු කිරීම වෙනුවට දරිද්‍රතාවේ නව ස්වරූප සහ නව අවදානම් නිර්මාණය වීමේ ඉඩකඩ වැඩි වනු ඇත.
අවසාන වශයෙන් පැවැසිය හැක්කේ ජනසවියෙන් ආරම්භ වී සමෘද්ධිය, දිවිනැගුම සහ අස්වැසුම දක්වා විකාශනය වූ ලංකාවේ සුබ සාධන ඉතිහාසය දශක තුනකට අධික කාලයක් පුරා දරිද්‍රතාව අවම කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් දී ඇතත්, දරිද්‍රතාවේ මූලික හා ව්‍යුහාත්මක හේතු මුළුමනින්ම විසඳීමට සමත් වී නොමැති බව පැහැදිලි වන බවය. වැඩසටහන්වල නම්, ආකෘති සහ පරිපාලන ව්‍යුහ වෙනස් වුවත්, ආදායම් අසමානතාව, ගුණාත්මක රැකියා අවස්ථාවල හිඟය, නිෂ්පාදන සම්පත්වල අසමාන බෙදීයාම, කලාපීය සංවර්ධන විසමතා සහ සමාජ බැහැර කිරීම් වැනි ගැඹුරු සමාජ-ආර්ථික ගැටලු තවමත් නොවිසඳී පවතී. එපමණක් නොව එය දිනෙන් දින උග්‍ර තත්වයට පත්වීම ද දක්නට ලැබේ.
එබැවින් ලංකාවට අවශ්‍ය වන්නේ සුබසාධනය කප්පාදු කිරීම හෝ පුළුල් කිරීම පිළිබඳ සරල ප්‍රතිපත්තිමය විවාදයක් නොව, සුබසාධනය, මානව සංවර්ධනය සහ ආර්ථික සවිබල ගැන්වීම එකිනෙක සම්බන්ධ කරන ඒකාබද්ධ සංවර්ධන රාමුවකි. විශේෂයෙන්ම අස්වැසුම වැනි වැඩසටහන් වෘත්තීය පුහුණුව, ව්‍යවසායකත්ව සංවර්ධනය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනය, කාන්තා ආර්ථික සවිබල ගැන්වීම සහ තරුණ රැකියා උත්පාදන වැඩසටහන් සමග සම්බන්ධ කිරීම අත්‍යවශ්‍ය වේ. එවිට සුබසාධනය තාවකාලික සහනයක් ලබා දෙන යාන්ත්‍රණයක් පමණක් නොව, දරිද්‍රතාවෙන් ස්ථිරව මිදීමට උපකාරී වන සංවර්ධන පාලමක් බවට පත් විය හැකිය.
අද්‍යතන ලංකාව මුහුණ දී සිටින ප්රමුඛ පෙළේ අභියෝගයක් වන්නේ දිළිඳු ජනතාවට ආධාර ලබා දෙනවාද නැද්ද යන්න නොව, එම ආධාර ඔවුන්ගේ ජීවන අවස්ථා පුළුල් කරමින් ස්වයංපෝෂිත භාවය කරා ගෙන යන්නේ කෙසේද යන්නයි. එසේත් නැතිනම් ධරණීය සංවර්ධන ප්‍රවේශයක් කරා ගමන් කිරීමේ ශක්‍යතාව ඔවුන් සතුව පවතී ද නොපවතී ද යන්න වේ. එම ජනසවියෙන් ආරම්භ වූ දරිද්‍රතාවට එරෙහි ගමන අස්වැසුමෙන් ප්‍රශ්නයට සාර්ථක පිළිතුරක් සොයාගත නොහැකි වුවහොත්, පසුව ද තවත් නව නාමයකින් ඉදිරියට ගිය ද, දරිද්‍රතාවේ අමිහිරි කතාන්දරය එලෙසම නැවත නැවතත් ලියැවෙනු ඇත.
කථිකාචාර්ය මිලින්ද මායාදුන්න – සබරගමුව විශ්වවිද්‍යාලය සමාජ විද්‍යා අංශය
උපුටා ගැනීම ලංකාදීප
