2026 වසරේ ලොව හොඳම දූපත් ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට පත්වී තිබේ. ගෝලීය සංචාරක වේදිකාවක් වන Big 7 Travel විසින් ප්‍රකාශයට පත් කළ “The 50 Best Islands in the World 2026” ශ්‍රේණිගත කිරීමේදී මෙම ගෞරවය ශ්‍රී ලංකාවට හිමිව ඇත.
මෙම ශ්‍රේණිගත කිරීම සඳහා මාධ්‍ය ආවරණය, සමාජ මාධ්‍ය ජනප්‍රියත්වය, සංචාරක ප්රවණතා සහ සංස්කාරක මණ්ඩලයේ ඇගයීම් යන කරුණු පදනම් කරගෙන තිබේ. ඒ අනුව ප්‍රංශ පොලිනීසියාවේ මෝරියා (Mo’orea), යේමනයේ සොකෝත්‍රා (Socotra), පෘතුගාලයේ මැඩෙයිරා (Madeira) සහ ඉක්වදෝරයේ ගැලපගෝස් (Galápagos) වැනි ලොව ප්‍රසිද්ධ දූපත් අභිබවා ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට පත්ව තිබේ.
ශ්‍රී ලංකාවට මෙම ජාත්‍යන්තර ඇගයීම හිමිවීමට බලපෑ ප්‍රධාන සාධක ලෙස සැතපුම් 833ක් පුරා විහිදෙන සුන්දර වෙරළ තීරය, මධ්‍යම කඳුකරයේ ස්වාභාවික සෞන්දර්යය සහ තේ වතු, පොහොසත් සංස්කෘතික උරුමය, විවිධ ජෛව පද්ධති, වනජීවී සංචාර සඳහා ප්‍රසිද්ධ යාල ජාතික උද්‍යානය සහ යුනෙස්කෝ ලෝක උරුමයක් වන සීගිරිය පර්වතය ඇතුළු සුවිශේෂී ආකර්ෂණීය ස්ථාන සඳහන් කර ඇත.
Big 7 Travel ආයතනය පෙන්වා දෙන්නේ ස්වාභාවික සුන්දරත්වය, ඉතිහාසය, වනජීවීන් සහ සංස්කෘතික විවිධත්වය එක්ව ශ්‍රී ලංකාව ලොව සුවිශේෂී සංචාරක ගමනාන්තයක් බවට පත්කර ඇති බවයි. එමෙන්ම ප්‍රකට දේශගවේෂක මාර්කෝ පෝලෝ විසින් ශ්‍රී ලංකාව “ලොව ඇති ප්‍රමාණයට සාපේක්ෂව විශිෂ්ටතම දූපත” ලෙස කළ විස්තරයද මෙම ජාත්‍යන්තර ඇගයීම යළි තහවුරු කරන බව සඳහන් වේ.
2026 වසරේ ලොව හොඳම දූපත් 10 අතර ශ්‍රී ලංකාවට ප්‍රථම ස්ථානය හිමිව ඇති අතර, මෝරියා, සොකෝත්‍රා, මැඩෙයිරා, ගැලපගෝස්, ග්‍රේට් එක්සිුමා, සීෂෙල්ස්, අචිල් දූපත, කෝ ලයිප් සහ මිලොස් යන දූපත් සෙසු ස්ථාන හිමිකරගෙන තිබේ.

