රාජ්‍ය හා සිවිල් සමාජය එක්ව වධහිංසනය තුරන් කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණය බිහි කිරීමට මුල් පියවර තබයි!

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සහ වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව (SLCAT) එක්ව සංවිධානය කළ “වධහිංසනය මුලිනුපුටා දැමීම සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරීත්වය” තේමාව යටතේ පැවැත්වූ පුළුල් අදහස් විමසීම සහ ප්‍රතිපත්ති සංවාදය අද (02) කොළඹ රමඩා හෝටලයේදී පැවැත්විණි.

වධහිංසනය වැළැක්වීම සහ එය මුලිනුපුටා දැමීමේ ප්‍රතිපත්තිමය සංවාදය සඳහා රාජ්‍ය හා සිවිල් සංවිධාන නියෝජිතයන් රැසක් එක්ව සිටියහ. විශේෂයෙන් මෙම අවස්ථාව සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව, අපරාධ හා සාක්ෂිකරුවන්ගේ වින්දිතයන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය, පුනරුත්ථාපන කාර්යාංශය, ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව, ජාතික මානසික සෞඛ්‍ය ආයතනය, සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ පොලිස් මූලස්ථානය ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් මෙන්ම, නීතිඥවරුන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, ළමා හා කාන්තා අයිතිවාසිකම් ක්ෂේත්‍රයේ නියෝජිතයින්, LGBTQI ප්‍රජාව නියෝජනය කරන ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, සෞඛ්‍ය සහ සමාජ සංවර්ධන ක්ෂේත්‍ර නියෝජිතයින් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සිවිල් සමාජ සංවිධාන රැසක නියෝජිතයින් සහභාගී වූහ.

සංවාදය අතරතුර රාජ්‍ය ආයතන තුළ වධහිංසනය තුරන් කිරීමේ ක්‍රියාවලියේදී මුහුණදීමට සිදුවන ප්‍රායෝගික ගැටලු, නීතිමය හා ආයතනික අභියෝග මෙන්ම ඒවාට විසඳුම් සෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය හා ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ හා ගැඹුරු සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම සංවාදය තුළින් ඉදිරිපත් වූ කරුණු පදනම් කර ගනිමින්, ශ්‍රී ලංකාව තුළ වධහිංසනය වැළැක්වීම සහ තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටියක් (Standard Operating Procedures – SOPs) සකස් කිරීම අපේක්ෂා කරන බව සංවිධායකයෝ සඳහන් කළහ.

වධහිංසනයෙන් තොර, මානව ගරුත්වය සුරක්ෂිත කරන සමාජයක් ගොඩනැගීම සඳහා රාජ්‍ය ආයතන, සිවිල් සමාජය සහ අනෙකුත් පාර්ශ්වයන් අතර අඛණ්ඩ සහයෝගීතාව වර්ධනය කිරීමේ වැදගත් පියවරක් ලෙස මෙම ප්‍රතිපත්ති සංවාදය සැලකේ.

Social Sharing
අවකාශය නවතම