පොලිස් නිලධාරීන්ම විමර්ශන නිලධාරීන් ලෙස යෙදවීමෙන් ස්වාධීන විමර්ශනවලට අවදානමක්!

ජාතික පොලිස් කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් ලෙස ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් සේවයට යොදවා ගැනීම හේතුවෙන් පොලිස් සේවයට අදාළ පැමිණිලි හා විමර්ශන ස්වාධීනව සහ අපක්ෂපාතීව සිදු කිරීමේ හැකියාව පිළිබඳ අවදානම් තත්ත්වයක් පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම විගණන වාර්තාවකින් අනාවරණය කර ඇත.

එම වාර්තාවට අනුව, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අරමුණු සහ කාර්යභාරයන් ඵලදායී ලෙස ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් මානව සම්පත් නොමැති වීම හේතුවෙන් ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් 32 දෙනෙකු කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් ලෙස අනුයුක්ත කර තිබේ.

විගණන වාර්තාව පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය හේතුවෙන් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබඳ විමර්ශන සිදු කිරීමේදී ස්වාධීනත්වය හා අපක්ෂපාතීත්වය සම්බන්ධ ගැටලු මතු විය හැකි බවයි.

2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ සමාලෝචිත වර්ෂය තුළ ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත මහජන පැමිණිලි, අභියාචනා සහ ආයතන හා විනය අංශ වෙත යොමු වූ පොලිසිය සම්බන්ධ පැමිණිලි ඇතුළුව සමස්ත පැමිණිලි 10,737ක් ලැබී ඇති බවද වාර්තාවේ සඳහන් වේ.

තවද, 2021 සිට 2025 දක්වා කාලය තුළ පොලීසියේ ක්‍රියාකාරීත්වයට එරෙහිව ලැබී ඇති මහජන පැමිණිලි සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ ගොස් ඇති අතර, එම සංඛ්‍යාව පිළිවෙළින් 1,893ක්, 1,676ක්, 2,448ක්, 2,863ක් සහ 2,979ක් ලෙස වාර්තා වී තිබේ.

විගණන වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, 2025 වර්ෂයේදී පොලිස් අත්අඩංගුවේ සිටියදී සිදුවූ මරණ සම්බන්ධයෙන් අභියාචනා පහක් ලැබී තිබූ බවයි. එවැනි සිදුවීම් මහජනතාව අතර ශ්‍රී ලංකා පොලීසියේ වගකීම් ඉටු කිරීමේ ප්‍රමිතිය සහ විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්න මතු කරන කරුණු බවද වාර්තාවේ සඳහන් කර ඇත.

මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, පොලිස් කොමිෂන් සභාවේ විමර්ශන කටයුතු සඳහා ස්වාධීන හා ප්‍රමාණවත් මානව සම්පත් පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය විගණන කාර්යාලය අවධාරණය කර තිබේ.

Social Sharing
නවතම පුවත්