Uber, PickMe ඇතුළු ඩිජිටල් වේදිකා ඔස්සේ සේවා සපයන්නන් ආරාක්ෂා කිරීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානය යටතේ නව ගෝලීය කම්කරු සම්මුතියක්!

Uber, PickMe,  බෙදාහැරීම් සිදුකරන ධාවකයින්  සහ නිදහස් වෘත්තිකයන් (Freelancers) ඇතුළු ඩිජිටල් වේදිකා (Platform) හරහා සේවය සපයන ලක්ෂ සංඛ්‍යාත සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නව ගෝලීය කම්කරු සම්මුතියක් කෙටුම්පත් කිරීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානය (International Labour Organization) තීරණය කර තිබේ.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන 114 වන ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේදී මෙම තීරණය ඒකමතිකව සම්මත කර ඇති අතර, ඩිජිටල් වේදිකා සේවකයන්ගේ මූලික කම්කරු අයිතිවාසිකම් නීත්‍යානුකූලව සුරක්ෂිත කිරීම එහි අරමුණ වේ.

මේ දක්වා Uber සහ PickMe වැනි ඩිජිටල් වේදිකා සමාගම් තම සේවකයන් “ස්වාධීන හවුල්කරුවන්” ලෙස හැඳින්වීම හේතුවෙන් සාම්ප්‍රදායික කම්කරු නීතිවලින් බැහැරව ක්‍රියා කිරීමට හැකිව තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස අවම වැටුප් ආරක්ෂාව, වෛද්‍ය නිවාඩු, සේවා වන්දි සහ සමාජ ආරක්ෂණ පහසුකම් වැනි මූලික හිමිකම් රැසක් මෙම සේවකයන්ට අහිමි වී තිබේ.

නව සම්මුතිය යටතේ ඩිජිටල් වේදිකා සේවකයන්ට සාධාරණ හා ස්ථාවර ආදායමක් සහතික කිරීම, EPF/ETF, විශ්‍රාම වැටුප් සහ වෛද්‍ය රක්ෂණ වැනි සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන්ට ඇතුළත් කිරීම, සේවා ස්ථානයේ ආරක්ෂාව තහවුරු කිරීම සහ අනතුරු අවස්ථාවලදී වන්දි ලබා ගැනීමේ අයිතිය තහවුරු කිරීම අවධාරණය කර ඇත.

එමෙන්ම පාරිභෝගිකයන්ගේ Ratings මත පමණක් පදනම්ව කිසිදු විමසීමකින් තොරව සේවක ගිණුම් අත්හිටුවීම හෝ ඉවත් කිරීම සීමා කරමින්, විනිවිදභාවයෙන් යුතු සහ සාධාරණ විනය ක්‍රියාවලියක් ස්ථාපිත කළ යුතු බව ද එම යෝජනාවෙන් පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ද ආර්ථික අභියෝග හමුවේ විශාල පිරිසක් Uber, PickMe සහ Delivery සේවාවන් මත ජීවනෝපාය රඳා පවතින අතර, පවතින කම්කරු නීති ඩිජිටල් ආර්ථිකයට ගැලපෙන ලෙස ප්‍රමාණවත් ලෙස යාවත්කාලීන වී නොමැත.

එබැවින් මෙම නව ජාත්‍යන්තර සම්මුතිය ක්‍රියාත්මක වීමත් සමඟ ශ්‍රී ලංකාව ඇතුළු රටවලට දේශීය කම්කරු නීති සංශෝධනය කරමින් App-පාදක රියදුරන්, බෙදාහැරීම්කරුවන් සහ අනෙකුත් ඩිජිටල් වේදිකා සේවකයන්ට නීතිමය ආරක්ෂාව සහ සමාජ ආරක්ෂණ පහසුකම් ලබාදීම සඳහා පියවර ගැනීමට සිදුවනු ඇත.

උපුටා ගැනීම What News

Social Sharing
නවතම පුවත්