
ශ්‍රී ලංකාවේ ඉඩම් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් ලෙස සැලකෙන්නේ සමගි පෙරමුණු ආණ්ඩුව විසින් 1972 වර්ෂයේදී ඉඩම් ප්‍රතිසංස්කරණ පනත හඳුන්වාදීමයි.
මෙම පනත මඟින් එක් පුද්ගලයෙකුට හිමි විය හැකි ඉඩම් ප්‍රමාණය අක්කර 50කට සීමා කරන ලද අතර, ඊට අධිකව පුද්ගලයන් සන්තකයේ පැවති අතිරික්ත ඉඩම් රජය වෙත පවරා ගැනීමට කටයුතු කරන ලදී. ඒ අනුව, අක්කර දහස් ගණනින් ඉඩම් හිමිව සිටි විශාල ඉඩම් හිමියන්ගේ අතිරික්ත ඉඩම් රජයට අත්පත් කරගැනුණි.
මෙම ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය 1972 අංක 1 දරණ ඉඩම් ප්‍රතිසංස්කරණ පනත මඟින් ස්ථාපිත කරන ලද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට (Land Reform Commission – LRC) පවරා දෙන ලදී. සාමාන්‍ය ජනවහරේ මෙම ඉඩම් “LRC ඉඩම්” ලෙස හඳුන්වනු ලබයි.
1974 වන විට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත අක්කර ලක්ෂ 14කට අධික ඉඩම් ප්‍රමාණයක් පවරාගෙන තිබූ බව වාර්තා වේ. එතැන් සිට එම ඉඩම් රටේ සංවර්ධන අවශ්‍යතා සඳහාත් ජනතා පදිංචි හා කෘෂිකාර්මික අවශ්‍යතා සඳහාත් වෙන් කිරීම කොමිෂන් සභාවේ ප්‍රධාන වගකීමක් බවට පත්විය.
කෙසේ වෙතත්, මෙම ආකාරයෙන් පවරාගෙන තිබූ ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය සම්පූර්ණයෙන්ම කොමිෂන් සභාව වෙත තහවුරු වී නොමැති බවට සැලකිය යුතු තොරතුරක් මෑතකදී හෙළිදරව් වී තිබේ.
මැල්සිරිපුර, මහගම, අංක 442/2 ලිපිනයේ පදිංචි ඩී.ඩී.එස්.ඩබ්ලිව්. අබේවර්ධන මහතා විසින් තම මුත්තණුවන්ගේ සමයේ සිට පවතින ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්, ලියාපදිංචි අංක “ඉප්රකො/තොරතුරු/කුරුණෑගල/01” යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ (ඉඩම්) විසින් නිකුත් කරන ලද ලිපියක වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ඇත.

එම ලිපියට අනුව, මැල්සිරිපුර වත්ත නමැති ඉඩමෙන්, කො/3236 යටතේ නැසීගිය ආර්.එම්. ද මෙල් මහතාට අයත්ව තිබූ අක්කර 26යි රූඩ් 1යි පර්චස් 2කින් සමන්විත ඉඩම් කොටසක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් පවරාගෙන තිබුණද, එහි නීත්‍යානුකූල හිමිකම අද දක්වාම කොමිෂන් සභාව වෙත නිසි පරිදි තහවුරු වී නොමැති බව සඳහන් වේ.
එයට හේතුව ලෙස දක්වා ඇත්තේ, ඉඩමේ පලභුක්තිය දැරූ පුද්ගලයන් සම්බන්ධයෙන් පනතේ 29 වැනි වගන්තිය ප්‍රකාරව නිකුත් කළ යුතු ගැසට් නිවේදන වසර 51ක් ගතවී තිබියදීත් නිකුත් කර නොමැති වීමත්, නියමිත වන්දි මුදල් ගෙවා නොමැති වීමත්ය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගත් විට, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් බවට සැලකෙන අනෙකුත් ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය ද සම්පූර්ණයෙන් තහවුරු වී තිබේද යන්න පිළිබඳව බරපතළ සැකයක් මතුවේ.
එසේ නම්, මෙම ඉඩම් සම්බන්ධයෙන් දශක ගණනාවක් පුරා සිදුකර ඇති ඉඩම් පැවරීම්, බදු දීම්, බලපත්‍ර නිකුත් කිරීම් සහ වෙනත් ගනුදෙනු වල වලංගුභාවය පිළිබඳව ද බරපතළ නීතිමය ගැටලු මතුවිය හැකිය.
තවත් බරපතළ කරුණක් වන්නේ, මෙම ඉඩම් සම්බන්ධයෙන් දේශපාලන බලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් විවිධ අවස්ථාවලදී ජනතාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත්, තම බලය ක්‍රියාත්මක කිරීමටත් මෙවැනි ඉඩම් භාවිත කර තිබීමය.
එමෙන්ම, මෙම ඉඩම්වල පදිංචි පවුල් පරම්පරා තුනකට ආසන්න කාලයක් පුරා නීත්‍යානුකූල ඉඩම් අයිතියකින් තොරව සහ තම අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවයකින් යුතුව ජීවත් වීමට සිදුව ඇති බව ද අවධාරණය කළ යුතුය. ඒ අනුව, මෙම තත්ත්වයෙන් පීඩාවට පත්වූ ජනතාවට යම් ආකාරයක සාධාරණය සහ වන්දි සැලසීම පිළිබඳව ද අවධානය යොමු විය යුතුය.
මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ, මෙම ගැටලුවේ වින්දිතයෙකු වන අතර ඉඩම් අයිතිය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ සටන් වදින ඉබ්බාගමුව ජාතික පාසලේ රසායන විද්‍යා ගුරුවරයෙකු වන ඩී.ඩී.එස්.ඩබ්ලිව්. අබේවර්ධන මහතාගේ ප්‍රකාශයයි.
ඔහු පවසන පරිදි, තම රසායන විද්‍යා දැනුම පදනම් කරගෙන සැලසුම් කළ නවෝත්පාදන ව්‍යාපෘතියක් මෙම ඉඩම් ගැටලුව හේතුවෙන් ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී ඇති අතර, එම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වීමට ඉඩ ලැබුණේ නම් ශ්‍රී ලංකාවට සැලකිය යුතු විදේශ විනිමය ආදායමක් ලබා ගැනීමේ හැකියාව තිබූ බව ඔහු පෙන්වා දෙයි.
මේ වන විට මෙම ගැටලුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත යොමු කර ඇති අතර, එය මානව හිමිකම් ප්‍රශ්නයක් පමණක් නොව, රාජ්‍ය පරිපාලනය, නීතියේ ආධිපත්‍යය සහ ඉඩම් පරිපාලනය සම්බන්ධයෙන් ජාතික වැදගත්කමක් ඇති කරුණක් බව පැහැදිලිය.
එබැවින්, මෙම තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අදාල අමාත්‍යාංශ, දේශපාලන බලධාරීන් සහ වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් වහාම අවධානය යොමු කර, සත්‍ය තත්ත්වය අනාවරණය කර ගැනීම සහ පීඩාවට පත් පාර්ශ්වයන්ට සාධාරණය ඉටු කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු බව අවධාරණය කරමු.

