සුරේෂ් සලේගේ විමර්ෂණයන්ට අදාළව CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළ කරුණු විමසීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන්ට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ, සුරේෂ් සලේ මහතාගේ ඥාතීන් විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි.

එම විමර්ශනවල කොටසක් ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් පසුගිය දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් සුරේෂ් සලේ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර, ඔහු රඳවා සිටි කුටිය ආසන්නයේ සිටි අනෙකුත් සැකකරුවන්ගෙන් ද ප්‍රකාශ ලබාගෙන ඇති බව වාර්තා වේ.

තවද, ඉකුත් 08 වනදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් කොළඹ ජාතික රෝහල වෙත ගොස් සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලීම් ද සිදුකර තිබේ.

මානව හිමිකම් කොමිෂන් සභාව පසුගිය සතියේද අදාළ විමර්ශන සිදුකරන CID නිලධාරීන්ට කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද, එදිනට සහභාගි වීමට නොහැකි බව දන්වමින් ඔවුන් වෙනත් දිනයක් ඉල්ලා සිටි බව සඳහන්ය.

ඒ අනුව, අදාළ විමර්ශන භාර නිලධාරියා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස යළි දැනුම් දී ඇති බව කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා මහතා ප්‍රකාශ කළේය.

සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගේ රඳවා තබා ගැනීමේ තත්ත්වය සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර තිබේද යන්න පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාව වෙනම විමර්ශනයක් සිදුකරමින් සිටී.

Social Sharing
නවතම පුවත්