ශ්‍රී ලංකාවේ උගත් කාන්තාවන්ගෙන් තුනෙන් එකක් පමණක් ශ්‍රම බලකායේ – ආසියානු සංවර්ධන බැංකුව

දකුණු ආසියාවේ වඩාත්ම උගත් කාන්තා ජනගහනයක් සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව සැලකුවද, ශ්‍රම බලකායට දායක වන්නේ සෑම කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු පමණක් බව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ෂැනන් කලින් මහත්මිය පවසයි.

ඇය සඳහන් කළේ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය කලාපයේ අවම මට්ටම් අතර පවතින බැවින් ශ්‍රී ලංකාව සැලකිය යුතු ආර්ථික සම්පතක් ප්‍රයෝජනයට නොගනිමින් සිටින බවයි.

කොළඹදී ඉකුත් 03 වනදා පැවති ආසියානු සංවර්ධන බැංකුව විසින් සංවිධානය කළ දැනුම් සංසදයකදී අදහස් දැක්වූ ඇය, මෙම ගැටලුව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොව, තිරසාර ආර්ථික වර්ධනය සහ සියල්ල ඇතුළත් සංවර්ධනය සඳහා බලපාන ප්‍රධාන ආර්ථික අභියෝගයක් බව අවධාරණය කළාය.

එහිදී රජයේ නිලධාරීන්, කම්කරු බලධාරීන්, ශාස්ත්‍රඥයන් සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන් එක්ව කාන්තාවන්ගේ ආර්ථික සහභාගීත්වයට බාධා වන ගැඹුරු සමාජ හා ව්‍යුහාත්මක ගැටලු පිළිබඳව සාකච්ඡා කර තිබේ.

කාන්තාවන්ගේ ආර්ථික විභවය සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ, ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ සහායක පරිසරයක් ගොඩනැගීමේ වැදගත්කමද එම සංසදයේදී අවධානයට ලක්ව ඇත.

විශේෂඥයන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ කාන්තාවන් අධ්‍යාපන මට්ටමින් ඉහළ ජයග්‍රහණ ලබා තිබුණද, රැකියා වෙළඳපොළට ප්‍රවේශය, පවුල් වගකීම්, ආරක්ෂාව සහ රැකියා ස්ථානවල පවතින අභියෝග හේතුවෙන් ඔවුන්ගේ ආර්ථික දායකත්වය අපේක්ෂිත මට්ටමට ළඟා වී නොමැති බවයි.

Social Sharing
නවතම පුවත්