
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා 10% සිට 12.5% දක්වා අතිරේක ආනයන බදු පැනවීමට අමෙරිකානු පරිපාලනය යෝජනා කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බලහත්කාර ශ්‍රමය (Forced Labor) භාවිතයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය වැළැක්වීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම සහ එමගින් අමෙරිකානු වෙළෙඳ කටයුතුවලට අසාධාරණ බලපෑම් එල්ල වන බව පෙන්වා දෙමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.
යෝජනාව අනුව කැනඩාව, මෙක්සිකෝව, පකිස්තානය, බංග්ලාදේශය සහ මැලේසියාව ඇතුළු රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10ක අතිරේක බද්දක් පැනවීමට යෝජනා කර ඇති අතර, ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 45කට සියයට 12.5ක අතිරේක බද්දක් පැනවීමට සැලසුම් කර ඇත.
ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය සඳහන් කරන්නේ, බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය තහනම් කිරීම සහ ඒ සම්බන්ධ නීති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බව විමර්ශනවලදී අනාවරණය වූ බවයි.
කෙසේ වෙතත්, ඇඟලුම් සහ රෙදිපිළි ආනයන සඳහා අඩු බදු අනුපාත යටතේ යම් ප්‍රමාණයක් අමෙරිකානු වෙළෙඳපොළට ඇතුළත් කිරීමට ඉඩ සලසන විශේෂ යාන්ත්‍රණයක් ද යෝජනා කර ඇති අතර, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
මෙම යෝජනා සම්බන්ධයෙන් මහජන අදහස් ජූලි 6 දක්වා භාරගන්නා අතර, ජූලි 7 දින මහජන විභාගයක් පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ.
