
මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය සහ අටමස්ථානාධිපති ධුරය දරන පල්ලේගම හේමරතන ස්ථවිරයන් වහන්සේට එරෙහිව පවතින අධිකරණ නඩු කටයුතු අවසන් වන තෙක් එම ඨානාන්තර අත්හිටුවීමට මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහා සංඝ සභාව තීරණය කර තිබේ.
ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් මේ බව ප්‍රකාශ කර ඇත.
එහි දැක්වෙන්නේ පල්ලේගම හේමරතන ස්ථවිරයන් වහන්සේ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව අවධානය යොමු කරමින් මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහා සංඝ සභාව අදාළ පාර්ශ්වයන් කැඳවා කරුණු විභාග කළ බවයි.
ඒ අනුව 2026 මැයි 30 දින රැස් වූ කාරක මහා සංඝ සභාව, අධිකරණයේ පවතින නඩු කටයුතු අවසන් වී ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ලැබෙන තෙක්, තමන් වෙත පැවරී ඇති බලතල අනුව පල්ලේගම හේමරතන ස්ථවිරයන් වහන්සේ වෙත පිරිනමා තිබූ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය අත්හිටුවීමට තීරණය කර ඇත.
එමෙන්ම, ගරුතර කාරක මහා සංඝ සභාවේ නියමය පරිදි අටමස්ථාන කමිටුව විසින් උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක සහ රුවන්වැලි චෛත්‍යරාමාධිකාරී ඊතලවැටුණුවැවේ ඤාණතිලක නායක ස්ථවිරයන් වහන්සේ තාවකාලිකව අටමස්ථානාධිපති ධුරයේ රාජකාරි ආවරණය කිරීම සඳහා පත් කිරීමට තීරණය කර ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.
මෙම නිවේදනය මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිගෞරවාර්භ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ නියමය පරිදි ලේඛකාධිකාරී පහමුණේ ධර්මකීර්ති ශ්‍රී සරණංකර හිමියන් විසින් නිකුත් කර ඇත.
සටහන: පල්ලේගම හේමරතන ස්ථවිරයන් වහන්සේ සම්බන්ධයෙන් පවතින චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ අවසන් තීන්දුවක් මෙතෙක් ලබාදී නොමැති අතර, නීතිය ඉදිරියේ චෝදනා ඔප්පු වන තෙක් එම චෝදනා සැලකෙන්නේ චෝදනා ලෙස පමණි.
