
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සහ එය පැවැත්විය යුතු මැතිවරණ ක්රමය පිළිබඳ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අතර සාකච්ඡාවක් පැෆ්රල් සංවිධානය මූලිකත්වයෙන් ඊයේ (26) කොළඹදී පැවැත්විණි.
දේශපාලන පක්ෂ ලේකම්වරුන්, නියෝජිතයින් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් සහභාගී වූ මෙම සාකච්ඡාවේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ වැදගත්කම, එය දිගින් දිගටම කල්යාමට හේතු වූ කරුණු සහ කඩිනමින් මැතිවරණය පැවැත්වීම සඳහා ගත යුතු පියවර පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කර තිබේ.
සාකච්ඡාවට එක්වූ විපක්ෂ දේශපාලන පක්ෂ සහ නිරීක්ෂණ සංවිධාන 42 අතරින් එක් පක්ෂයක් හැර අනෙකුත් සියලු පාර්ශ්ව ඒකාබද්ධ ප්රකාශයකට අත්සන් තබා ඇත. එම ප්රකාශය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහ ආණ්ඩු පක්ෂයට යොමු කිරීමටද තීරණය කර තිබේ.
එම ඒකාබද්ධ ප්රකාශය මගින් 2017 අංක 17 දරන පනතට පෙර පැවති මැතිවරණ ක්රමයට අනුව දැනට කල් තබා ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීමට එකඟත්වය පළ කර ඇති අතර, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසන් නිර්දේශ ලැබෙන තෙක් එම ක්රමය ක්රියාත්මක කිරීමටද එකඟ වී ඇත.
එමෙන්ම ස්වේච්ඡා පදනමක් මත කාන්තා සහ තරුණ නියෝජනය සියයට 25ක් දක්වා සහතික කිරීමටද පාර්ශ්ව එකඟතාව පළ කර තිබේ.
මෙම සාකච්ඡාවට තලතා අතුකෝරළ, රංජිත් මද්දුම බණ්ඩාර, සාගර කාරියවසම්, ලසන්ත අලගියවන්න, උවිඳු විජේවීර, සිරිතුංග ජයසූරිය, මනෝ ගනේෂන්, කේ. විග්නේෂ්වරන් ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක් සහභාගී වූහ.
එසේම මහින්ද දේශප්රිය මහතා ද මැතිවරණ නිරීක්ෂණ ආයතන නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක්ව සිටියේය.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් නිහාල් අබේසිංහ මහතා මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර, පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු මැතිවරණ ක්රමය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ විපක්ෂ නියෝජිත මන්ත්රීවරුන් සිව්දෙනාද මීට එක්ව සිටියහ.
