
රඹකැන්ඔය සහ පොල්ලබැද්ද ප්‍රදේශවල පිහිටි ආදිවාසී ජනතාවට අයත් පාරම්පරික ඉඩම් යළි ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන බව මහවැලි අධිකාරිය අද (26) අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
සිය පාරම්පරික ඉඩම් පුද්ගලික සමාගම් වෙත පැවරීම අභියෝගයට ලක් කරමින් ඌරු වර්ගයේ වන්නියලෑ ඇත්තෝ සහ පාරිසරික පදනම විසින් ගොනුකර තිබූ පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇත.
පොල්ලබැද්ද සහ රඹකැන්ඔය ප්‍රදේශවල පිහිටි ආදිවාසී ජනතාවගේ පාරම්පරික ඉඩම් පුද්ගලික සමාගම්වලට ලබාදීමට මහවැලි අධිකාරිය ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් 2021 වසරේදී මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
අද පෙත්සම කැඳවූ අවස්ථාවේදී අදාළ ඉඩම් යළි ආදිවාසී ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන බව මහවැලි අධිකාරිය අධිකරණයට දැනුම් දී ඇත.
මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම ක්‍රියාවට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත්, අදාළ ප්‍රදේශවල වනාන්තර විනාශ කළ පුද්ගලයින්ට යළි වන වගා සිදු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම මගින් ඉල්ලා ඇති බව සිහිපත් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා සැප්තැම්බර් 25 වනදා යළි කැඳවීමට නියම කළේය.
